හිතෝපදේශ 10:17-32

හිතෝපදේශ 10:17-32 SCV

උපදෙසට ඇහුම්කන්දෙන්නා, ජීවනයේ මාවතේ සිටී; එහෙත් නිවැරදි කිරීම් පිටුදකින්නා, අන් අයට ද නොමගට මග පෙන්වයි. තම වෛරය සඟවන්නා බොරුකාර තොල් ඇත්තෙකි; අපවාද පතුරන්නා අඥානයෙකි. වචන බහුල ව කියැවෙන කල පාපය හිඟ නො වේ; එහෙත් තම දිව පාලනය කර ගන්නා නුවණැත්තෙකි. දමිටු මිනිසාගේ දිව අගනා රිදී ය; එහෙත් අදමිටුවාගේ හදවත නො වටනේ ය. දමිටු කෙනකුගේ තොල්වලින් බොහෝ දෙනකු පෝෂණ කෙරේ; එහෙත් අඥානයෝ නො වැටහීමෙන් මිය යති. ස්වාමින්වහන්සේගේ ආශිර්වාදය ධනය ගෙන එයි; උන්වහන්සේ කරදර ඊට එක් නො කරන සේක. නපුර කිරීම අඥානයාට සෙල්ලමකි; එහෙත් අවබෝධය ඇත්තා ප්‍රඥාවෙහි ප්‍රීති වෙයි. දුෂ්ටයා බය වන දේ, ඔහු පිටට පැමිණේ; ධර්මිෂ්ඨයා ආශා වන දේ ඔහුට දෙනු ලැබේ. චණ්ඩ කුණාටුව හැමූ කල, දුෂ්ටයා පහව ගොසිනි. එහෙත් ධර්මිෂ්ඨයා සදහට ම ස්ථාවර ව පිහිටා සිටී. දත්වලට විනාකිරි යම් සේ ද, ඇස්වලට දුම යම් සේ ද, අලසයා ද ඔහු එවූ තැනැත්තාට එසේ ම වන්නේ ය. ස්වාමින්වහන්සේට භයවීමෙන් ආයුෂ දිගු කෙරේ; එහෙත් දුෂ්ටයින්ගේ ජීවිත අවුරුදු කෙටි කෙරේ. ධර්මිෂ්ඨයාගේ අපේක්ෂාව ප්‍රීතියයි; එහෙත් දුෂ්ටයාගේ බලාපොරොත්තු සුන් වෙයි. ස්වාමින්වහන්සේගේ මාර්ගය, අවංක තැනැත්තාට පිළිසරණකි; එහෙත් නපුර කරන්නාට එය විනාශයකි. ධර්මිෂ්ඨයා කිසි කලෙක උදුරා දමනු නො ලැබේ; එහෙත් දුෂ්ටකම් කරන්නා දේශයෙහි නො රැඳේ. ධර්මිෂ්ඨයාගේ මුඛයෙන් ප්‍රඥාව ගෙන ඒ; එහෙත් අගතිගාමී දිව සිඳ දැමේ. ධර්මිෂ්ඨයාගේ කතාව තැනට උචිත පරිදි ය; එහෙත් දුෂ්ටකම්කරන්නාගේ මුවින් පිට වන්නේ දුෂ්ට කතා ය.

මෙයට අදාළ වීඩියෝ

හිතෝපදේශ 10:17-32 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය