හිතෝපදේශ 10:1-14

හිතෝපදේශ 10:1-14 SCV

සාලමොන්ගේ හිතෝපදේශ: ප්‍රඥාවත් පුත්‍රයා තම පියාට ප්‍රීතිය ගෙනේ, අඥාන පුත්‍රයා තම මව ශෝකයට පමුණුවයි. අදමිටුකමින් උපයා ගත් ධනයේ වටිනාකමක් නැත; එහෙත් දමිටුකම මරණයෙන් ගලවයි. ධර්මිෂ්ඨයිනට කුස ගින්නේ සිටින්නට ස්වාමින්වහන්සේ ඉඩ නො තබන සේක; එහෙත්, දුෂ්ටයින්ගේ තෘෂ්ණාව ඉෂ්ටවීම වළකන සේක. කම්මැලි දෑත මිනිසකු දුප්පත් කරවයි; එහෙත් උද්යෝගිමත් දෑත, ධනය ගෙන එයි. ග්‍රීෂ්ම කාලයේ පලදාව එක් රැස් කරන්නා නැණවත් පුතෙකි; අස්වනු කාලයේ නිදාගන්නා නින්දා සහගත පුතෙකි. ධර්මිෂ්ඨයාගේ හිස පිට ආශිර්වාද වෙයි; එහෙත් දුෂ්ටයාගේ මුඛය සැහැසිකම මුවා කර ගනී. ධර්මිෂ්ඨයින් ගැන මතකය ද ආශිර්වාදයකි; එහෙත් දුෂ්ටයාගේ නාමය දිරා යයි. ප්‍රඥාවත් හදවතක් ඇත්තා, අණ-පනත් පිළිගනී; එහෙත් වාචාල අඥානයා විනාශයට පත් වේ. ඍජු ගතියෙන් කටයුතු කරන්නා, සුරක්ෂිත ව දිවි ගෙවයි; එහෙත් ඇද මාවත්වල යන්නාගේ වංකකම එළි වෙයි. ඇසින් ඉඟිකරන්නා කරදර උපද්දයි; වාචාල අඥානයා විනාශයට ළං වෙයි. දමිටු මිනිසකුගේ මුඛය, ජීවනයේ උල්පතකි; එහෙත් දුෂ්ටයාගේ මුඛය, සැහැසිකම මුවා කර ගනී. ද්වේෂය, ආරවුල් කලඹවයි; එහෙත් ප්‍රේමය, සියලු වැරදි වසාලයි. අවබෝධය ඇත්තාගේ තොල් අතරේ ප්‍රඥාව ඇත්තේ ය; එහෙත් විචාර බුද්ධිය හීන අයගේ පිටුපසට වේවැල් පහර ය. ප්‍රඥාවත්හු දැනුම රැස් කර ගනිති; එහෙත් අඥානයාගේ මුඛය විනාශයට අඬගසයි.

මෙයට අදාළ වීඩියෝ

හිතෝපදේශ 10:1-14 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය