පිලෙමොන් 1
1
1ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ සිරකරුවකු වූ පාවුල් හා අප සහෝදර තිමෝති වෙතින්,
අප සේවයේ හවුල්කාර අප ප්‍රේමණීය පිලෙමොන් ද 2අප සහෝදරිය අප්පියා ද අපගේ හවුල් සෙබළ අර්කිපස් ද ඔබ නිවසේ රැස් වන සභාව ද වෙතයි.
3අපගේ පියාණන් වූ දෙවියන්වහන්සේගෙන් හා යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගෙන් ඔබට අනුග්‍රහයත්, සාමයත් වේවා!
තුතිය හා යැදුම
4මගේ යාච්ඤාවලදී ඔබ සිහි කරන හැම විටෙක, මගේ දෙවියන්වහන්සේට මා ස්තුති කරන්නේ, 5යේසුස්වහන්සේ වෙත හා සියලු ශුද්ධවන්තයින් වෙත ඇති ඔබගේ ප්‍රේමය හා ඇදහිල්ල ගැන මට අසන්නට ලැබෙන බැවිනි. 6අප තුළ ක්‍රිස්තුස්වහන්සේ උදෙසා ඇති හැම හොඳ දෙයක් පිළිබඳව පූර්ණ අවබෝධයක් ඔබට ලැබෙන පිණිස, ඔබගේ ඇදහිල්ලේ හවුල්කාරකමෙහි ඔබ පලදායි වන පිණිස මම යාච්ඤා කරමි. 7මා සොහොයුර, ඔබගේ ප්‍රේමය මට මහත් ප්‍රීතියක් හා සැනසිල්ලක් ගෙන දී ඇත. මන්ද ඔබ තුළින් ශුද්ධවතුන්ගේ හදවත් ප්‍රාණවත් කරනු ලැබ ඇති හෙයිනි.
ඔනේසිමස් ගැන පාවුල්ගේ ආයාචනය
8එබැවින්, කරන්නට අවශ්‍ය දේ ගැන ඔබට නියෝග කරන්නට වුව ද, ක්‍රිස්තුස්වහන්සේ තුළ මට ධෛර්යය ඇතත්, 9ප්‍රේමයේ නාමයෙන් මම ඔබට ආයාචනයක් කරමි. මහලු මිනිසකු ද දැන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ සිරකරුවකු ද වන පාවුල් නම් මම, 10සිරගත ව සිටියදී පියාණන් බවට මා පත් වූ මගේ දරුවා වන ඔනේසිමස් ගැන ඔබට ආයාචනා කරමි. 11කලින් ඔහු ඔබට නිෂ්ප්රයෝජන ව සිටි නමුදු, දැන් ඔහු ඔබටත්, මටත් දෙදෙනාට ම ප්‍රයෝජන ව සිටියි.
12මගේ ම හදවත වැනි ඔහු ඔබ වෙත ආපසු එවන්නෙමි; 13ශුභාරංචිය උදෙසා මා මෙසේ සිරගත ව සිටියදී මගේ උපකාරයට, ඔබ වෙනුවට ඔහු මා වෙත රඳවා ගැනීම මගේ කැමැත්තයි. 14එහෙත්, ඔබගේ අනුමැතියෙන් තොර ව, කිසිත් කරන්නට මා කැමති නො වූයේ, ඔබ කරන යහපත බලයෙන් නො ව, ස්ව-කැමැත්තෙන් කරන්නක් වන පිණිසයි. 15ඇතැම් විට, කලකට ඔහු ඔබෙන් වෙන් කරන ලද්දේ ඔහු සදහට ම ආපසු ලැබීමට විය හැක. 16තවදුරටත් දාසයකු ලෙස නො ව, දාසයකුට වඩා ප්‍රේමණීය සහෝදරයකු ලෙස ලැබීමට විය හැක. විශේෂයෙන් ම මට එසේ වී නම්, මිනිස් ආකාරයෙන් පමණක් නො ව ස්වාමින්වහන්සේ තුළ සහෝදරයකු වශයෙන් ඔබට කොයි තරම් වේ ද!
17එබැවින් මා ඔබේ හවුල්කරු යැයි ඔබ සලකනවා නම්, මා පිළිගන්නා විලස සාදරයෙන් ඔහු පිළිගන්න. 18ඔහු ඔබට වරද කර ඇත්නම්, නැතහොත් කිසිවකින් ඔබට ණය නම්, එය මගේ ගණනට දමන්න. 19මම, පාවුල්, මගේ ම අතින් ඔබට ලියන්නේ, මම එය ආපසු ගෙවන්නෙමි. ඔබ, ඔබේ ම ජීවිතයෙන් මට ණය වග මතක් කළ යුතු නො වේ. 20ඔව් සහෝදරය, ස්වාමින්වහන්සේ තුළ මට ඔබෙන් උපකාරයක් අවශ්‍යයයි. ක්‍රිස්තුස්වහන්සේ තුළ මා හද ප්‍රාණවත් කරන්න. 21ඔබගේ කීකරුකම ගැන වූ විශ්වාසයෙන්, මා ඔබට ලියන්නේ, මා කියනවාටත් වඩා වැඩියෙන් ඔබ කරන වග දැනගෙන ය.
22ඒ හැර, නවාතැනක් මට සූදානම් කර තබන්න. මන්ද ඔබේ යාච්ඤාවලට පිළිතුරු වශයෙන් ඔබ අතරේ යළි මා පිහිටුවනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.
23ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මගේ හවුල් සිරකරු එපප්‍රස්, තම ආචාරය ඔබට පිළිගන්වයි.
24මගේ හවුල් වැඩකරුවන් වන මාර්ක්, අරිස්තාර්කස්, දේමස් හා ලූක් ද එසේ ම කරති.
25යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ඔබගේ ආත්මය හා වේවා!
දැනට තෝරාගෙන ඇත:
පිලෙමොන් 1: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.