ගණන් 31:25-54
ගණන් 31:25-54 SCV
ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “අල්ලා ගනු ලැබූ ජනයා හා සතුන් යන සැවොම ගණන් ගත යුත්තේ, ඔබත්, පූජක එලෙයාසර් හා ජනතාවගේ පිය පෙළපත්වල නායකයින් විසිනි. කොල්ලයෙන් ගත් දෑ සටනට සහභාගි වූ යුද්ධ භටයින් ද සෙසු ජනයා ද අතරේ බෙදන්න. යුද්ධයේදී සටන් කළ යුද්ධ භටයින් වෙතින් ස්වාමින්වහන්සේට තුටු පඬුරක් වශයෙන් වෙන් කළ යුත්තේ, සටනේදී පැහැර ගනු ලැබූ ජනයාගෙන් හා ගව, බූරු, එළු, බැටළු යන සතුන්ගෙන් පන්සියයකට එක බැගිනි. ඔවුන්ගේ කොටසින්, එම තුටු-පඬුරු ස්වාමින්වහන්සේගේ කොටස වශයෙන් පූජක එලෙයාසර්ට දෙන්න. ඉශ්‍රායෙල් ප්‍රජාවගේ අඩ කොටසින්, මිනිස් හෝ ගව, බූරු, එළු, බැටළු යන සතුන්ගෙන් හෝ පනහට එක බැගින් ගෙන, ස්වාමින්වහන්සේගේ මණ්ඩපයේ කටයුතු බාර ලෙවීවරුනට දෙන්නැ” යි පැවසූ සේක. එබැවින් මෝසෙස් හා පූජක එලෙයාසර්, ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි කළහ. යුද්ධ භටයින් ගත් දෑට අමතරව, ඉතිරි ව තිබූ කොල්ලය, බැටළුවන් හයලක්ෂ හැත්තෑපන් දහසකින් ද ගවයින් හැත්තෑදෙදහසකින් ද බූරුවන් හැටඑක්දහසකින් ද පිරිමියකුගේ පහස නො ලද කන්‍යාවන් තිස්දෙදහසකින් ද යුතු විණි. යුද්ධයේදී සටන් වැදුනවුන්ගේ අඩ-කොටස: බැටළුවන් තුන්ලක්ෂ තිස්හත්දහස් පන්සියයකි. එයින් ස්වාමින්වහන්සේට වූ පඬුර හයසිය හැත්තෑපස් දෙනෙකි. ගවයින් තිස්හයදහසකි. එයින් ස්වාමින්වහන්සේට වූ තුටු පඬුර හැත්තෑ දෙදෙනෙකි. බූරුවන් තිස්දහස් පන්සියයකි. එයින් ස්වාමින්වහන්සේට වූ පඬුර හැටඑක් දෙනෙකි. ජනයා දාසය දහසකි. එයින් ස්වාමින්වහන්සේට වූ පඬුර තිස් දෙදෙනෙකි. ස්වාමින්වහන්සේගේ කොටස වශයෙන් එම පඬුර මෝසෙස් එලෙයාසර්ට දුන්නේ, ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කළ පරිද්දෙනි. සටනට ගියවුන්ගේ කොටසෙන් මෝසෙස් වෙන් කළ ඉශ්‍රායෙල් ජනයාට අයත් අඩ-කොටස, එනම් ප්‍රජාවගේ අඩ-කොටස: බැටළුවන් තුන්ලක්ෂ තිස්හත්දහස් පන්සිය දෙනෙකි. ගවයින් තිස්හයදහසකි. බූරුවන් තිස්දහස් පන්සියයකි. ජනයා දාසය දහසකි. මෝසෙස්, ස්වාමින්වහන්සේ තමාට අණ කළ පරිදි ඉශ්‍රායෙල් ජනයාගේ අඩ කොටසින් පුද්ගලයින් හැම පනස් දෙනකුගෙන් හා සතුන් පනසකගෙන් එකකු බැගින් ගෙන, ස්වාමින්වහන්සේගේ මණ්ඩපයේ වගකීම් දරන ලෙවීවරුනට දුන්නේ ය. එවිට හමුදා ඒකක බාර නිලධාරීන් වූ සියයේ සේනාංක හා දහසේ සේනාංක සෙන්පතීහු මෝසෙස් වෙත ගොස්, ඔහු අමතමින්, “ඔබේ සේවකයින් වන අපි, අප යටතේ සිටින හේවායින් ගණන් කළෙමු. එක් කෙනකුවත් අඩු වී නැත. එබැවින් ස්වාමින්වහන්සේ අබියස පාප වන්දි නිවාරණයක් ඉටු කරනු පිණිස, අප එකිනෙකා අත්කර ගත් අත්පටි, වළලු, පේරැස් මුදු, අරුංගල් හා මාල යන රන් අබරණ ස්වාමින්වහන්සේට තුටු පඬුරක් කොට ගෙනාවෙමු” යි කීහ. මෝසෙස් ද පූජක එලෙයාසර් ද රනින් කළ එම නිමි බඩු සියල්ල පිළිගත්හ. සියයේ සේනාංක හා දහසේ සේනාංක සෙන්පතීන් වෙතින් ස්වාමින්වහන්සේට පඬුරක් කොට, මෝසෙස් හා පූජක එලෙයාසර් පිළිගැන් වූ රත්රන් සියල්ලෙහි බර, ෂෙකෙල් දාසයදහස් හත්සිය පනහකි. හැම හේවායෙක් ම තමාට කොල්ලයක් ගෙන තිබිණි. මෝසෙස් ද පූජක එලෙයාසර් ද සියයේ සේනාංක හා දහසේ සේනාංක සෙන්පතීන්ගෙන් රත්රන් පිළිගෙන, ස්වාමින්වහන්සේ ඉදිරියෙහි ඉශ්‍රායෙල් ජනයා උදෙසා සිහි කිරීමක් වශයෙන්, ඒවා හමුවීමේ කූඩාරම තුළට ගෙන ආහ.

