ගණන් 15:22-41

ගණන් 15:22-41 SCV

“ ‘ස්වාමින්වහන්සේ මෝසෙස්ට දුන් මේ ආඥාවලින් කිසිවක් පිළිපැදීමට අතපසුවීමකින් ඔබ අපොහොසත් වුවහොත්, ස්වාමින්වහන්සේ ඒ ආඥා දුන් දවසේ සිට නොකඩවා මතු පරම්පරාවන්හි ද ස්වාමින්වහන්සේ මෝසෙස්ට දුන් ආඥාවලින් කවරක් හෝ කඩ වුවහොත්, එය සිදු වූයේ මුළු සමූහයා ම නො දැනුවත් ව, අතපසුවීමකින් නම්, මුළු ජන සමාජය ම ස්වාමින්වහන්සේට ප්‍රසන්න සුවඳක් වශයෙන් දවන යාග පූජාවක් කොට ගව නාම්බකු ඔප්පු කළ යුතු ය. ඒ සමඟ, ඊට නියමිත ධාන්‍ය පූජාව හා පාන පූජාව ද පාප පූජාවක් සඳහා එළු වස්සකු ද ඔප්පු කළ යුතු ය. ඉශ්‍රායෙල් මුළු සමූහයා උදෙසා පූජකයා පාප වන්දි නිවාරණය ඉටු කළ යුතු ය. එවිට ඔවුන්ට කමා කරනු ලැබේ. මන්ද එය අතපසුවීමක් බැවිනි. ඒ හැරත්, ඔවුන්ගේ වරද උදෙසා ගින්නෙන් පිදූ පූජාවක් හා පාප පූජාවක් ස්වාමින්වහන්සේ වෙත ඔවුන් ගෙන ආ බැවිනි. මුළු ඉශ්‍රායෙල් ජන සමාජයට හා ඔවුන් මධ්‍යයේ වෙසෙන විදෙස්සන්ට ද කමා කරනු ලැබේ. මන්ද අතපසුවීමේ වරදට මුළු ජනතාව ම සම්බන්ධ බැවිනි. “ ‘එහෙත් එක් පුද්ගලයකු පමණක් අතපසුවීමකින් පව් කළොත්, ඔහු පාප පූජාවක් සඳහා එක් අවුරුදු එළු වැස්සියක ගෙන ආ යුතු ය. එසේ අතපසුවීමකින් පව් කරමින්, වරද කළ අය උදෙසා පූජකයා ස්වාමින්වහන්සේ ඉදිරියේ පාප වන්දි නිවාරණය ඉටු කළ යුතු ය. මෙසේ ඔහු උදෙසා පාප වන්දි නිවාරණය කළ පසු, ඔහුට සමාව ලැබේ. ඉශ්‍රායෙල් පුරවැසියකු හෝ එහි වෙසෙන විදෙස්සකු යන කවරකු වුව අතපසුවීමකින් පව් කරන ඔබ හැම කෙනකුට ම බල පැවැත්වෙන්නේ එක ම නීතියකි. “ ‘එහෙත් පුරවැසියකු හෝ විදෙස්සකු හෝ යන කවරකු වුව කැරලිකාරී ව පව් කළොත්, ඔහු ස්වාමින්වහන්සේට අපහාස කරයි. තම ජනයා වෙතින් ඔහු සිඳ දැමිය යුතු ය. ඔහු ස්වාමින්වහන්සේගේ වචනය සුළු කොට තකා, උන්වහන්සේගේ ආඥා කඩ කළ බැවින්, නියතයෙන් ම ඔහු සිඳ දැමිය යුතු ය. ඔහුගේ පාපය ඔහු මත ම වේ යැ’ යි” පැවසූ සේක. ඉශ්‍රායෙල්වරුන් පාළුකරයේ සිටියදී, එක් මිනිසෙක් සබත් දවසේ දර එකතු කරනු දක්නට ලැබිණ. ඔහු දර එකතු කරනු දුටුවෝ, මෝසෙස් හා ආරොන් වෙතටත්, මුළු සභාව වෙතටත් ඔහු ගෙන ආහ. ඔහුට කුමක් කළ යුතුදැයි යන්න හරි හැටි නො දත් බැවින් ඔවුහු ඔහු අත්අඩංගුවේ තැබූහ. එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ඒ මිනිසා මිය යා යුතු ය. කඳවුරෙන් පිටතදී මුළු සභාව ම ඔහුට ගල් ගැසිය යුතු යැ” යි පැවසූ සේක. එබැවින්, කඳවුරෙන් පිටතට ඔහු ගෙන ගිය ඉශ්‍රායෙල් සමූහයා ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔහු මැරෙන තුරා ගල් ගැසූහ. ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ඉශ්‍රායෙල්වරුනට කතා කොට මෙසේ කියන්න: ‘මතු පරම්පරා මුළුල්ලේ ඔබේ වස්ත්‍ර වාටිවල කෙළවර, ටසල සාදාගත යුතු ය. හැම ටසලයක ම නිල්පාට පටියක් තිබිය යුතු ය. මෙම ටසල ඔබට ඇත්තේ, මගේ ආඥාවලට ඔබ කීකරු වන පිණිසත්, ඔබේ ම සිත්වල හා ඇස්වල තෘෂ්ණා අනුව යෑමෙන් අනාචාරකම් නො කරන පිණිසත්, ඒ ටසල දෙස බලා, එමඟින් ස්වාමින්වහන්සේගේ සියලු ආඥා ඔබට සිහිගන්වන්නට ය. එවිට මගේ සියලු ආඥාවලට කීකරු වීමට ඔබට සිහිවනු ඇත. මෙසේ ඔබ, ඔබේ දෙවියන්වහන්සේට ශුද්ධ ව, කැප වනු ඇත. ඔබේ දෙවියන්වහන්සේ වන පිණිස ඊජිප්තුවෙන් පිටතට ඔබ ගෙන ආ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම වෙමි’ යි” පැවසූ සේක.