ඉශ්‍රායෙල්වරුන් අතර සිටි මිශ්‍ර ජනයා වෙනත් දෑ කෑමට කෑදර වූහ. ඉශ්‍රායෙල් ජනයා ද යළි හඬා වැටෙන්නට වී, “අනේ අපට කන්නට මස් තිබුණා නම්! ඊජිප්තුවේදී වියදමක් නැතිව අප කෑ මාළු, අපට සිහි වේ. පිපිඤ්ඤා, කොමඩු, ලීක්ස්, රතුලූණු හා සුදුලූණු ද සිහි වේ. එහෙත් දැන් ආහාර රුචිය අපෙන් දුරු වී ගොසින්; මේ මන්නා මිස අන් කිසිවක් අපට දකින්නටවත් නැතැ” යි මැසිවිලි නැගූහ.
මෙම මන්නා, කොත්තමල්ලි ඇට වගේ ය. එහි පැහැය දුම්මල වගේ ය. ජනයා ගොස්, අවටින් ඒවා එකතු කොට ගෙනවුත්, ගලෙහි අඹරා ගත්හ; නැතහොත් වංගෙඩියේ ලා, කොටා ගත්හ. ඉන්පසු ඔවුහු හැළියක ලා, ඒවා තම්බා, එයින් කැවිලි සාදා ගත්හ. ඔලීව තෙලින් පිසින ලද රසයක් එහි විණි. රැයෙහි කඳවුර තුළ පිනි වැටුණු කල, මන්නා ද පතිත විය.
එක් එක්කෙනා තම තමාගේ කූඩාරම් දොරකඩ සිට හැම පවුලක ම ජනයා හඬා වැටෙනු මෝසෙස්ට ඇසිණි. ස්වාමින්වහන්සේ අතිශයෙන් කෝප වූ සේක. මෝසෙස් සංවේගයට පත් විය. ඔහු ස්වාමින්වහන්සේ අමතමින්, “ඔබේ සේවකයා පිටට ඔබ මේ කරදරය ගෙනාවේ ඇයි? මේ මුළු ජනතාවගේ ම බර ඔබ මා පිට පැටවූවේ, ඔබ නො සතුටට පත් කරන්නට මා කුමක් කළ නිසා ද? මේ මුළු ජනයා පිළිසිඳ ගත්තේ මා ද? ඔවුන් ජනිත කළේ මා ද? ඔවුන්ගේ ආදි පියවරුනට දිවුරා ඔබ පොරොන්දු වූ දේශයට කිරි මවක්, අත දරුවකු වඩාගෙන යන්නා සේ, මගේ දෝතින් ඔවුන් උසුලාගෙන යන්නැයි ඔබ මට කියන්නේ මන්ද? මේ සියලු ජනයාට මා මස් ගෙනෙන්නේ කොතැනින් ද? ‘අපට කන්න මස් දෙන්න’ යි කියමින් නො නැවතීම ඔවුන් හඬා වැටේ. මේ සියලු ජනයා මට තනි ව ගෙන ගිය නො හැක. එය මට දරන්නට බැරි බරකි. ඔබ මට සලකන්නට යන්නේ මේ විදියට නම්, දැන් ම මා මරා දමන්න. ඔබේ ඇස් හමුවේ මට ප්‍රසාදය ලැබෙනවා නම්, මගේ මේ විපත්තිය දකින්නට මට ඉඩ නුදුන මැනවි” යි පැවසී ය.
ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ජනතාව අතරේ නායකයින් හා නිලධාරීන් වශයෙන් ඔබ දන්නා ඉශ්‍රායෙල් වැඩිහිටියන් හැත්තෑ දෙනකු මා වෙත පමුණුවන්න. හමුවීමේ කූඩාරම වෙත ඔවුන් කැඳවා, ඔබ පසෙකින් ඔවුන්ට එහි සිටගන්නට සලස්වන්න. මම පහළට බැස අවුත්, එහිදී ඔබ හා කතා කරන්නෙමි. ඔබ මත පිහිටා සිටින ආත්මයාණන් ගෙන, මම ඔවුන් මත්තෙහි ද තබන්නෙමි. ජනතාවගේ බර ඔබට තනි ව උසුලාගෙන යෑමට සිදු නො වන පරිදි, ඔවුන් ද ඒ බරට උර දෙනු ඇත.
“ජනතාවට මෙසේ කියන්න: ‘හෙට දවසට සූදානම් වෙමින්, පවිත්‍ර වන්න. ඔබට කෑමට මස් ලැබෙනු ඇත. “අනේ අපට මස් ටිකක්වත් කෑමට ලැබුණා නම්! ඊජිප්තුවේ අප මොන තරම් හොඳින් සිටියා ද!” කියමින් ඔබ හඬා වැටෙනු ස්වාමින්වහන්සේට ඇසිණි. දැන්, ස්වාමින්වහන්සේ ඔබට මස් දෙන සේක. ඔබ ඒවා අනුභව කරනු ඇත. ඔබ ඒවා අනුභව කරනු ඇත්තේ හුදෙක් දවසක්, දෙකක්, දින පහක්, දහයක් හෝ දින විස්සක් හෝ නො වේ. පුරා මසක් ම ඒවා ඔබේ නහයෙන් කටින් එන තෙක්, ඒවා ඔබට පිළිකුල් වන තෙක් ම කනු ඇත. මන්ද ඔබ අතරේ සිටින ස්වාමින්වහන්සේ ප්‍රතික්ෂේප කොට, “කුමක් නිසා අපි ඊජිප්තුව හැර ආවෙමු ද?” කියමින් උන්වහන්සේ ඉදිරියේ ඔබ හඬා වැලපුණු බැවිනි.’ ”
එහෙත්, මෝසෙස් කතා කරමින්, “මා සිටින්නේ හයලක්ෂ පාබළ ජනකායක් සමඟිනි, ‘පුරා මසක් ම මම ඔවුන්ට මස් කන්නට දෙන්නෙමි’ යි ඔබ කියන සේක. මේ එළු, බැටළු, ගව රංචු මැරුවත් එය ඔවුනට ප්‍රමාණවත් වේ ද? නැතහොත් මුහුදේ සියලු මසුන් ඇල්ලුවත් ඔවුනට ප්‍රමාණවත් වේ දැ?” යි ඇසී ය.
ස්වාමින්වහන්සේ මෝසෙස්ට පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේගේ බාහු බලය සීමා වෙලා ද? මා ඔබට කී මගේ වචන සැබෑ වේ ද, නො වේ ද කියා දැන් ඔබ දකිනු ඇතැ” යි පැවසූ සේක.
එබැවින් මෝසෙස් පිටතට ගොස්, ස්වාමින්වහන්සේ පැවසූ දෑ ජනතාවට පැවසී ය. ජනතාවගේ වැඩිහිටියන් හැත්තෑ දෙනකු එක් රැස් කළ මෝසෙස්, මණ්ඩපය වටා ඔවුන් සිටෙව්වේ ය. එවිට ස්වාමින්වහන්සේ වලාකුළින් පහළ බැස ආ සේක්, ඔවුන් හා කතා කොට, මෝසෙස් මත පිහිටා සිටින ආත්මයාණන්ගෙන් ගෙන, වැඩිහිටියන් හැත්තෑදෙනා මත්තෙහි ද ඒ ආත්මයාණන් තැබූ සේක. ආත්මයාණන් ඔවුන් මත පිහිටි කල, ඔවුහු දිවැස් වැකි පැවසූහ. එහෙත් ඔවුහු යළිත් එසේ නො කළහ.
කෙසේ වුව ද වැඩිහිටියන් වශයෙන් ලේඛනගත එල්දාද් හා මේදාද් යන දෙදෙනා කඳවුරේ රැඳී සිටියහ. ඔවුන් මණ්ඩපය වෙත ගියේ නැත. එහෙත් ආත්මයාණන් ඔවුන් මත ද පැමිණියෙන් ඔවුහු ද කඳවුරේදී දිවැසි වැකි පැවසූහ. එවිට මෝසෙස් වෙත දිවූ තරුණයෙක්, “එල්දාද් හා මේදාද් කඳවුරේ දිවැස් වැකි කියති” යි කීවේ ය.
නූන්ගේ පුත් යෝෂුවා හෙවත් යොවුන් වියේ පටන් මෝසෙස්ගේ සහායකයා කතා කරමින්, “මෝසෙස් මා ස්වාමිනි, ඔවුන් නවතාලන්නැ” යි කීවේ ය.
එහෙත් මෝසෙස් පිළිතුරු දෙමින්, “මා උදෙසා ඔබ ඊර්ෂ්‍යා වෙනවා ද? ස්වාමින්වහන්සේගේ මුළු ජනතාව ම දිවැසිවරුන් වනවාටත්, ස්වාමින්වහන්සේ ස්වකීය ආත්මයාණන් ඒ හැම කෙනකු මත ම තබනවාටත් මම කැමැත්තෙමි” යි පැවසී ය. ඉන්පසු මෝසෙස් ද ඉශ්‍රායෙල් වැඩිහිටියෝ ද කඳවුරට ආපසු ගියහ.
එවිට ස්වාමින්වහන්සේ වෙතින් සුළඟක් හමා, මුහුදින් වටුවන් ගසා ගෙන ආවේ ය. කඳවුර වටා පොළොවේ සිට රියන් දෙකක් පමණ උසට කඳවුරේ සිට කවර දිසාවකට හෝ දවසක ගමන්-දුරක් දක්වා උන් බිම වැටී තිබිණි. ජනයා එහි ගොස්, මුළු දවස හා රැය පුරාත්, පසු දින මුළුල්ලේ වටුවන් එකතු කර ගත්හ. හෝමෙර දහයකට අඩුවෙන් එකතු කර ගත් කිසිවකුත් නො වී ය. ඉන්පසු ඔවුහු මුළු කඳවුර වටේ උන් අතුළහ. එහෙත් මස් ඔවුන්ගේ දත් අතරට ගෙන තිබියදී, ඒවා හපා ගිලින්නට පවා කලින්, ස්වාමින්වහන්සේගේ කෝපය ඔවුන්ට එරෙහිව ඇවුළුණේ ය. උන්වහන්සේ දැඩි ව්‍යසනයකින් ඔවුන්ට පහර දුන් සේක. වෙනත් ආහාරවලට ගිජු වූ ජනයා එහිදී භූමදාන කළ බැවින් ඒ ස්ථානයට කිබ්‍රොත්-හත්තාවා යන නම තබන ලදී.