ගණන් 11:1-15

ගණන් 11:1-15 SCV

තවද ස්වාමින්වහන්සේ අසා සිටියදී, ජනයා තම අපහසුතා ගැන මැසිවිලි නගන්නට වූහ. ස්වාමින්වහන්සේට ඒවා ඇසුණු කල, උන්වහන්සේගේ කෝපය ඇවිස්සිණි. එවිට ස්වාමින්වහන්සේ වෙතින් වූ ගින්න ඔවුන් අතරේ ඇවිළී, කඳවුර අවට ඇතැම් තැන් දවාලී ය. එවිට ජනයා මෝසෙස්ට මොරගැසූයෙන්, ඔහු ස්වාමින්වහන්සේට යාච්ඤා කළේ ය. එවිට ගින්න නිවී ගියේ ය. ස්වාමින්වහන්සේගේ ගින්න ඔවුන් අතරේ ඇවුළුණු බැවින්, එම ස්ථානය තබේරා නමින් හඳුන්වනු ලැබී ය. ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් අතර සිටි මිශ්‍ර ජනයා වෙනත් දෑ කෑමට කෑදර වූහ. ඉශ්‍රායෙල් ජනයා ද යළි හඬා වැටෙන්නට වී, “අනේ අපට කන්නට මස් තිබුණා නම්! ඊජිප්තුවේදී වියදමක් නැතිව අප කෑ මාළු, අපට සිහි වේ. පිපිඤ්ඤා, කොමඩු, ලීක්ස්, රතුලූණු හා සුදුලූණු ද සිහි වේ. එහෙත් දැන් ආහාර රුචිය අපෙන් දුරු වී ගොසින්; මේ මන්නා මිස අන් කිසිවක් අපට දකින්නටවත් නැතැ” යි මැසිවිලි නැගූහ. මෙම මන්නා, කොත්තමල්ලි ඇට වගේ ය. එහි පැහැය දුම්මල වගේ ය. ජනයා ගොස්, අවටින් ඒවා එකතු කොට ගෙනවුත්, ගලෙහි අඹරා ගත්හ; නැතහොත් වංගෙඩියේ ලා, කොටා ගත්හ. ඉන්පසු ඔවුහු හැළියක ලා, ඒවා තම්බා, එයින් කැවිලි සාදා ගත්හ. ඔලීව තෙලින් පිසින ලද රසයක් එහි විණි. රැයෙහි කඳවුර තුළ පිනි වැටුණු කල, මන්නා ද පතිත විය. එක් එක්කෙනා තම තමාගේ කූඩාරම් දොරකඩ සිට හැම පවුලක ම ජනයා හඬා වැටෙනු මෝසෙස්ට ඇසිණි. ස්වාමින්වහන්සේ අතිශයෙන් කෝප වූ සේක. මෝසෙස් සංවේගයට පත් විය. ඔහු ස්වාමින්වහන්සේ අමතමින්, “ඔබේ සේවකයා පිටට ඔබ මේ කරදරය ගෙනාවේ ඇයි? මේ මුළු ජනතාවගේ ම බර ඔබ මා පිට පැටවූවේ, ඔබ නො සතුටට පත් කරන්නට මා කුමක් කළ නිසා ද? මේ මුළු ජනයා පිළිසිඳ ගත්තේ මා ද? ඔවුන් ජනිත කළේ මා ද? ඔවුන්ගේ ආදි පියවරුනට දිවුරා ඔබ පොරොන්දු වූ දේශයට කිරි මවක්, අත දරුවකු වඩාගෙන යන්නා සේ, මගේ දෝතින් ඔවුන් උසුලාගෙන යන්නැයි ඔබ මට කියන්නේ මන්ද? මේ සියලු ජනයාට මා මස් ගෙනෙන්නේ කොතැනින් ද? ‘අපට කන්න මස් දෙන්න’ යි කියමින් නො නැවතීම ඔවුන් හඬා වැටේ. මේ සියලු ජනයා මට තනි ව ගෙන ගිය නො හැක. එය මට දරන්නට බැරි බරකි. ඔබ මට සලකන්නට යන්නේ මේ විදියට නම්, දැන් ම මා මරා දමන්න. ඔබේ ඇස් හමුවේ මට ප්‍රසාදය ලැබෙනවා නම්, මගේ මේ විපත්තිය දකින්නට මට ඉඩ නුදුන මැනවි” යි පැවසී ය.

මෙයට අදාළ වීඩියෝ

ගණන් 11:1-15 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය