ගණන් 10:1-10

ගණන් 10:1-10 SCV

ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “තැලූ රිදීයෙන් හොරණෑ දෙකක් සාදා, ජන සමාජය එක් රැස් කරවීමටත්, කඳවුර පිටත් ව යෑමේදීත් ඒවා භාවිත කරන්න. හොරණෑ දෙක ම හැඬ වූ කල, මුළු ජන සමාජය ම හමුවීමේ කූඩාරම් දොරකඩ ඔබ ඉදිරියේ එක් රැස් විය යුතු ය. ඉන් එකක් පමණක් හැඬ වූ කල, ඉශ්‍රායෙල් පෙළපත් ප්‍රධානීන් වන නායකයින් ඔබ ඉදිරියේ එක් රැස් විය යුතු ය. හොරණෑව හැඬ වූ කල, පෙරදිග පැත්තේ කඳවුරු බැඳ සිටි ගෝත්‍ර පිටත් ව යා යුතු ය. දෙවන වර එය හැඬ වූ කල, දකුණු දිශාවේ කඳවුරු පිටත් විය යුතු ය. හොරණෑ හැඬවුම පිටත් ව යෑමට සංඥාවකි. ප්‍රජාව රැස්කරවීමට හොරණෑ පිඹින්න; එහෙත් පෙර කී පිටත් ව යෑමේ සංඥාවේ හැඬවුම නො වේ. “හොරණෑ හැඬවිය යුත්තෝ ආරොන්ගේ පුතුන් වූ පූජකයෝ ය. මෙය ඔබටත්, මතු පරම්පරාවනටත් සදාතනික නියෝගයකි. ඔබට පීඩා කරන සතුරකුට එරෙහිව, ඔබේ ම දේශයේදී ඔබ යුද්ධයට යන කල, හොරණෑවලින් හඬක් නංවන්න. එවිට ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ සිහි කොට, ඔබේ සතුරන්ගෙන් ඔබ මුදා ගන්නා සේක. එසේ ම, ඔබගේ ප්‍රීතිමත් අවස්ථාවන්හි දී එනම් ඔබේ නියමිත මංගල්‍ය හා මාසය පටන් ගැන්මේදී යන ඔබගේ දවන යාග පූජා හා ශාන්ති පූජාවලදීත් ඔබ හොරණෑ නාද කළ යුතු ය. ඒවා ඔබේ දෙවියන්වහන්සේ ඉදිරියේ ඔබ ගැන සිහිකරවීමක් වන්නේ ය. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම යැ” යි පැවසූ සේක.

මෙයට අදාළ වීඩියෝ