ගණන් 1:1-33

ගණන් 1:1-33 SCV

ඉශ්‍රායෙල් ජනයා ඊජිප්තුවෙන් පිටතට පැමිණි පසු දෙවන වසරේ, දෙවන මස, පළමු වන දා සීනයි කාන්තාරයේ හමුවීමේ කූඩාරම තුළදී, ස්වාමින්වහන්සේ මෝසෙස්ට මෙසේ පැවසූ සේක: “හැම පිරිමියකු, එක් එක්කෙනා නම් වශයෙන් ලේඛනගත කරමින්, ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව, ඉශ්‍රායෙල් ප්‍රජාවේ මුළු ජන සමාජයේ සංගණනයක් ගන්න. හමුදා සේවයේ යෙදිය හැකි, විසි වියැති හා ඊට වැඩි සියලු ඉශ්‍රායෙල් ජාතික පිරිමි, ඔවුන්ගේ සේනාංක වශයෙන් ගණනය කරනු ලැබිය යුත්තේ ඔබත්, ආරොනුත් විසිනි. එක් එක් ගෝත්‍රයේ පියවංශ ප්‍රධානියා වූ කෙනකු ඔබට සහාය විය යුතු ය. “එසේ ඔබට සහාය දිය යුතු අයගේ නාම මෙසේ ය: “රූබෙන් ගෝත්‍රයෙන්, ෂෙදෙවූර්ගේ පුත් එලිසූර්; සිමියොන් ගෝත්‍රයෙන්, සූරිෂද්දයිගේ පුත් ෂෙලුමියෙල්; යූදා ගෝත්‍රයෙන්, අම්මිනාදාබ්ගේ පුත් නාෂොන්; ඉස්සාකර් ගෝත්‍රයෙන්, සූවාර්ගේ පුත් නෙතනේල්; සාබුලොන් ගෝත්‍රයෙන්, හේලොන්ගේ පුත් එලියාබ්; යෝසෙප්ගේ පුතුන් අතුරින්: එප්‍රායිම් ගෝත්‍රයෙන්, අම්මිහුද්ගේ පුත් එලිෂාමා; මනස්සේ ගෝත්‍රයෙන්, පෙදාසූර්ගේ පුත් ගමාලියෙල්; බෙන්යමින් ගෝත්‍රයෙන්, ගිදෙයොනීගේ පුත් අබිදාන්; දාන් ගෝත්‍රයෙන්, අම්මිෂද්දයිගේ පුත් අහියේසෙර්; ආෂෙර් ගෝත්‍රයෙන්, ඔක්‍රාන්ගේ පුත් පගියෙල්; ගාද් ගෝත්‍රයෙන්, දෙවූයෙල්ගේ පුත් එලියාසාෆ්; නෆ්තලී ගෝත්‍රයෙන්, ඒනාන්ගේ පුත් අහිරා යන අය ය.” ජන සමාජයෙන් තෝරා පත් කරන ලද ඔවුන්ගේ පාරම්පරික ගෝත්‍ර නායකයෝ ඔවුහු ය. ඔවුහු ඉශ්‍රායෙල් පෙළපත් ප්‍රධානීහු ය. මෝසෙස් සහ ආරොන්, නම් සඳහන් ඒ මිනිසුන් කැඳවා ගත්හ. දෙවන මස පළමු දින ඔවුහු මුළු ඉශ්‍රායෙල් සමාජය ම එක් රැස් කරවූහ. ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව විසි වියැති වූත්, ඊට වැඩි වූත් පිරිමි එක් එක්කෙනා නාම වශයෙන් ලේඛනගත කරන ලදහ. එසේ කරන ලද්දේ ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කර තිබූ පරිද්දෙනි. මෙසේ ඔහු සීනයි කාන්තාරයේදී ඔවුන් ගණන් කළේ ය: ඉශ්‍රායෙල්ගේ කුලුඳුල් පුත් රූබෙන්ගෙන් පැවත එන්නන් අතරින්: හමුදා සේවයේ යෙදිය හැකි විසි වියැති වූත්, ඊට වැඩි වූත් සියලු පිරිමි, ඔවුන්ගේ පරම්පරාවල ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව, එක් එක්කෙනා නම් වශයෙන් ලේඛනගත කරන ලදහ. ඒ අනුව රූබෙන් ගෝත්‍ර වංශිකයින් ගණනින් හතළිස්හයදහස් පන්සිය දෙනෙකි. සිමියොන්ගෙන් පැවත එන්නෝ: හමුදා සේවයේ යෙදිය හැකි විසි වියැති වූත්, ඊට වැඩි වූත් සියලු පිරිමි, ඔවුන්ගේ පරම්පරාවල ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව, එක් එක්කෙනා නම් වශයෙන් ගණන් ගනු ලදුව, ලේඛනගත කරන ලදහ. ඒ අනුව සිමියොන් ගෝත්‍ර වංශිකයින් ගණනින් පනස්නවදහස් තුන්සිය දෙනෙකි. ගාද්ගෙන් පැවත එන්නෝ: හමුදා සේවයේ යෙදිය හැකි විසි වියැති වූත්, ඊට වැඩි වූත් සියලු පිරිමි, ඔවුන්ගේ පරම්පරාවල ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව, නම් වශයෙන් ලේඛනගත කරන ලදහ. ගාද් ගෝත්‍ර වංශිකයින් ගණනින් හතළිස්පන්දහස් හයසිය පනස් දෙනෙකි. යූදාගෙන් පැවත එන්නෝ: හමුදා සේවයේ යෙදිය හැකි විසි වියැති වූත්, ඊට වැඩි වූත් සියලු පිරිමි, ඔවුන්ගේ පරම්පරාවල ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව, නම් වශයෙන් ලේඛනගත කරන ලදහ. යූදා ගෝත්‍ර වංශිකයින් ගණනින් හැත්තෑහතරදහස් හයසිය දෙනෙකි. ඉස්සාකර්ගෙන් පැවත එන්නෝ: හමුදා සේවයේ යෙදිය හැකි විසි වියැති වූත්, ඊට වැඩි වූත් සියලු පිරිමි, ඔවුන්ගේ පරම්පරාවල ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව, නම් වශයෙන් ලේඛනගත කරන ලදහ. ඉස්සාකර් ගෝත්‍ර වංශිකයින් ගණනින් පනස්හතරදහස් හාරසිය දෙනෙකි. සාබුලොන්ගෙන් පැවත එන්නෝ: හමුදා සේවයේ යෙදිය හැකි විසි වියැති වූත්, ඊට වැඩි වූත් සියලු පිරිමි, ඔවුන්ගේ පරම්පරාවල ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව, නම් වශයෙන් ලේඛනගත කරන ලදහ. සාබුලොන් ගෝත්‍ර වංශිකයින් ගණනින් පනස්හත්දහස් හාරසිය දෙනෙකි. යෝසෙප්ගේ පුතුන් අතරින්: එප්‍රායිම්ගෙන් පැවත එන්නෝ: හමුදා සේවයේ යෙදිය හැකි විසි වියැති වූත්, ඊට වැඩි වූත් සියලු පිරිමි, ඔවුන්ගේ පරම්පරාවල ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව, නම් වශයෙන් ලේඛනගත කරන ලදහ. එප්‍රායිම් ගෝත්‍ර වංශිකයින් ගණනින් හතළිස්දහස් පන්සිය දෙනෙකි.

ගණන් 1 කියවන්න

ගණන් 1:1-33 සඳහා වීඩියෝව