නෙහෙමි 4:7-23

නෙහෙමි 4:7-23 SCV

එහෙත් යෙරුසලම් පවුරේ ඉදිකිරීම් ඉදිරියට කර ගෙන යන වගත්, එහි කැඩුම්-බිඳුම් වැසීම ඇරඹී ඇති වගත් ඇසූ සන්බල්ලට්, ටෝබීයා, අරාබිවරු, අම්මොන්වරු හා අෂ්දෝද් මිනිස්සු මහත් කෝපයට පත් වූහ. ඔවුහු සියල්ලෝ එක් ව යෙරුසලමට එරෙහිව සටන් කරන්නට ඒමටත්, ඊට එරෙහිව වියවුලක් හටගන්වන්නටත් කුමන්ත්‍රණ කළහ. එහෙත් අපි අපේ දෙවියන්වහන්සේට යාච්ඤා කර, ඔවුන්ට එරෙහිව දිවා-රාත්‍රී මුරකාවක් තැබුවෙමු. මේ අතර යූදාහි මෙසේ කියැවිණ: “බර අදින්නන්ගේ ශක්තිය හීන වී යයි. සුන්බුන් ගොඩ බොහෝ ය. පවුර ගොඩනැගීම අපට කළ නො හැකි ය” යනුයි. තවද අපේ සතුරෝ කතා කොට, “ඔවුන් දැනගන්නට කලින්, අප දකින්නටත් කලියෙන් අපි ඔවුන් මැදට පැන, ඔවුන් මරා දමා, වැඩේ නවතා දමමු” යි කීහ. එකල ඔවුන් අසල විසූ යුදෙව්වරු හැම දෙසින් ම අප වෙත අවුත්, “ඔබ අප වෙත ආපසු ආ යුතු යැ” යි දහ වතාවක් කීහ. එබැවින් පවුරේ පහත් කොටස්වලට පිටුපසින් වූ එළිමහන් තැන්වල ජනයාගෙන් ඇතැම් දෙනකු ඔවුන්ගේ පෙළපත් අනුව මා ස්ථානගත කළේ ඔවුන්ගේ කඩු, හෙල්ල හා දුනු සමඟිනි. තත්වය විමසා බලා, මම නැගිට, වංශවතුන්, නිලධාරීන් හා සෙසු ජනයා අමතමින්, “ඔවුන්ට භයවන්නට එපා; ස්වාමින් උත්තම වූ භයංකර තැනැන්වහන්සේ වග සිහි තබාගෙන, ඔබේ සහෝදරයින්, ඔබේ පුතුන් හා ඔබේ දූවරුන්, ඔබේ භාර්යාවන් හා ඔබේ නිවෙස් උදෙසා සටන් කරන්නැ” යි කීවෙමි. හැම දේ අප දන්නා වග ද දෙවියන්වහන්සේ කුමන්ත්‍රණය ව්‍යර්ථ කළ වග ද අපේ සතුරන්ට අසන්නට ලැබුණු පසු, අප හැම අප එකිනෙකාට නියමිත වැඩට පවුර වෙත ආපසු ගියෙමු. ඒ දවසේ පටන් මගේ මිනිසුන්ගෙන් අඩක් ගොඩ නැගීමෙහි යෙදුන අතර අනෙක් කොටස හෙල්ල, පලිහ හා දුනු දරමින් යුද්ධ සැට්ට හැඳ සිටියහ. අධිපතීන් මුළු යූදා ජනයාට පිටුපසින් ආවරණය දෙද්දී ඔවුහු පවුර ගොඩ නැගීමේ යෙදුණහ. බර ඇද්ද අය එක් අතකින් වැඩ කළ අතර අනෙක් අතේ ආයුධයක් දැරූහ. ගොඩ නගන්නන් හැම කෙනෙක් ම වැඩ කරද්දී, තම කඩුව තම ඉඟටියේ බැඳ සිටියහ. එහෙත් බැටළු අං හොරණෑව හැඬ වූ මිනිසා සිටියේ මා ළඟිනි. ඉන්පසු මම වංශවතුන් ද නිලධාරීන් ද සෙසු ජනයා ද අමතමින්, “මෙය ඉතා මහත් කාරියක්; පුළුල් ව පැතිරුණු කාරියක්. පවුර දිගට අප සිටින්නේ එකිනෙකාගෙන් දුරස් වෙලයි. හොරණෑ නාදය ඇසෙන්නේ කොතැනින් ද එතැනට අප වෙත රැස් වන්න; අපේ දෙවියන්වහන්සේ අප උදෙසා සටන් කරන සේකැ!” යි පැවසීමි. එසේ අලුයම හිරු උදාවේ පටන් රෑ තරු පායන තෙක් එක දිගට අප වැඩ කළේ මිනිසුන්ගෙන් හරි අඩක් හෙල්ල දරමින් සිටියදී ය. එකල ජනයා ඇමතූ මම, “හැම කෙනකු ම තම සේවකයා සමඟ යෙරුසලමේ රැය ගත කරත්වා; එවිට රැයේ මුරට ද දහවලට වැඩට ද අප උදෙසා ඔවුන්ට උර දිය හැකි යැ” යි කීවෙමි. මෙසේ මා හෝ මගේ සහෝදරයින් හෝ මගේ සේවකයින් හෝ මා සමඟ මුරට සිටි මිනිසුන් හෝ අපේ ඇඳුම් ගැලවූයේ නැත. හැම කෙනකු ම සිටියේ තම ආයුධය සුරතේ ඇති ව ය.