මතෙව් 27:45-66

මතෙව් 27:45-66 SCV

හය වන පැයේ සිට නව වන පැය දක්වා දේශය මුළුල්ලේ අන්ධකාරයක් විය. නව වන පැයේදී පමණ යේසුස්වහන්සේ උස් හඬින් මොර ගසමින්, “ඒලී, ඒලී, ලාමා සබක්තානි?” පැවසූ සේක. එහි අරුත “මගේ දෙවියන්වහන්ස, මගේ දෙවියන්වහන්ස, ඔබ මා අත්හැරියේ මන්ද?” යනුයි. ඒ ඇසූ එතැන සිටි ඇතමෙක්, “මේ මිනිසා එලියාට හඬ ගසනවා යැ” යි කීහ. ඔවුන්ගෙන් කෙනෙක් වහා දිව ගොස් මූදු හත්තක් ගෙන, මිදි යුෂ-විනාකිරෙන් එය පොඟවා, දණ්ඩක අමුණා යේසුස්වහන්සේට බොන්නට ළං කළේ ය. එවිට සෙසු අය, “ඔහොම ඉන්න දෙන්න; ඔහු ගලවන්නට එලියා ඒදැයි බලමු” යි කීහ. යළිත් වරක් උස් හඬින් මොර ගැසූ යේසුස්වහන්සේ තම ආත්මය බාර දුන් සේක. එවේලේ මෙන්න! දේව මාලිගයේ තිරය ඉහළ සිට පහළට දෙකඩ ව පැළිණි. පොළොව කම්පනය විය. පර්වත දෙදරුම් කැවිණ. සොහොන් විවර වී, සැතපී සිටි බොහෝ ශුද්ධවතුන්ගේ සිරුරු නැගිටුවන ලදහ. ඔවුහු තම සොහොන්වලින් පිටතට අවුත්, යේසුස්වහන්සේගේ නැගිටීමෙන් පසු, ශුද්ධ නගරයට ඇතුල් ව බොහෝ දෙනකුට පෙනුණහ. යේසුස්වහන්සේ මුර කරමින් සිටි සියයේ සේනාධිපතියා හා ඔහු සමඟ සිටි අය පොළෝ කම්පාවත්, සිදු වූ අන් සියල්ලත් දුටු කල, බයින් වෙළී, “නිසැකයෙන් ම ඔහු දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ම වී යැ!” යි පැවසූහ. දුරින් සිට එදෙස බලා සිටි ස්ත්‍රීන් බොහෝ දෙනෙක් ද එහි වූහ. ඔවුහු යේසුස්වහන්සේට උපස්ථාන කරමින් ගලීලයේ සිට උන්වහන්සේ අනුව ආවෝ වූහ. ඔවුන් අතර මග්දලාහි මරියා ද යාකොබ් හා යෝසෙප්ගේ මව වූ මරියා හා සෙබදීගේ පුත්‍රයන්ගේ මව ද වූහ. යේසුස්වහන්සේගේ ගෝලයකු ව සිටි යෝසෙප් නම් වූ ධනවත් මනුෂ්‍යයෙක් සවස් වෙද්දී, අරමාතියේ සිට එහි ආවේ ය. ඔහු පිලාත් වෙත ගොස්, යේසුස්වහන්සේගේ දේහය ඉල්ලී ය. එවිට එය ඔහුට බාර දෙන ලෙස පිලාත් නියෝග කළේ ය. යෝසෙප් දේහය ගෙන, පිරිසිදු හණ රෙද්දකින් ඔතා, පර්වතයක් කැණ තනා තිබූ ඔහුට ම අයත් අලුත් සොහොන් ලෙන තුළ දේහය තැන්පත් කළේ ය. ලෙන් පිවිසුමට මහත් ගලක් පෙරළා තැබූ ඔහු යන්නට ගියේ ය. මග්දලාහි මරියා හා අනෙක් මරියා සොහොන් ලෙන අබියස හිඳගෙන වුන්හ. පසු දින, එනම් සූදානම් වීමේ දවසට පසු දින, නායක පූජකවරු හා පරිසිවරු පිලාත් වෙත රැස් වී, ඔහු අමතමින්, “මැතිඳුනි, ඒ ප්‍රයෝගකාරයා ජීවත් ව සිටියදී, ‘තුන් දිනකින් මම යළි නැගිටිමි’ යි කී බව අපට මතකයි. එබැවින් තුන් දවසක් යන තෙක් ඔහුගේ සොහොන රැකවල් ලන්නට අණ කරන්න. නැතහොත් ඔහුගේ ගෝලයින් අවුත්, මිනිය සොරාගෙන ගොස්, ඔහු මළවුන්ගෙන් නැගිටුණායි ජනයාට කියාවි. එවිට මේ අවසන් රැවටිල්ල, ඒ පළමු එකටත් වඩා නරක් වනු ඇතැ” යි කීහ. පිලාත් පිළිතුරු දෙමින්, “නුඹලාට මුර සෙබළු ඉන්නවා. ගොසින්, රිසි පරිදි සොහොන රැකවල් ලන්නැ” යි කීවේ ය. එබැවින් ඔවුහු ගොස්, සොහොන් ගල මුද්‍රා තබා, මුර භටයින් සිටුවා, සොහොන රැකවල් ලූහ.

මෙයට අදාළ වීඩියෝ