මතෙව් 27:11-23
මතෙව් 27:11-23 SCV
මේ අතර යේසුස්වහන්සේ, ආණ්ඩුකරු ඉදිරියේ සිට ගත්තේ ය. ආණ්ඩුකරු, “ඔබ යුදෙව්වන්ගේ රජ දැ?” යි උන්වහන්සේගෙන් ඇසුවේ ය. “ඔබ ම එසේ කියන්නෙහි යැ” යි යේසුස්වහන්සේ පැවසූ සේක. එහෙත් නායක පූජකයින් හා වැඩිහිටියන් උන්වහන්සේට චෝදනා කළ විට, උන්වහන්සේ කිසි පිළිතුරක් නො දුන් සේක. එවිට පිලාත්, “ඔබට ඇහෙන්නේ නැද්ද මොන තරම් දෑ ගැන මොවුන් ඔබට එරෙහිව සාක්ෂි දෙනවා ද කියා?” යි උන්වහන්සේගෙන් ඇසී ය. එහෙත් යේසුස්වහන්සේ ඒ එක චෝදනාවකට හෝ කිසි පිළිතුරක් නුදුන් සේක; එවිට ආණ්ඩුකරු මහත් විස්මයට පත් විය. ජනයා ඉල්ලන කවුරුන් හෝ එක් සිරකරුවකු, මංගල්‍යය නිමිත්තෙන් ආණ්ඩුකරු නිදහස් කර දෙන සිරිතක් විය. බරබ්බස් නම් වූ ප්‍රසිද්ධ සිරකරුවෙක් එකල ඔවුන්ට සිටියේ ය. එබැවින්, ජනයා එක් රොක් වූ කල පිලාත්, ඔවුන් අමතමින්, “මා ඔබට කවරකු නිදහස් කර දෙනවාට ඔබ කැමති ද? බරබ්බස් ද? නැති නම් ක්‍රිස්තුස් ය කියන යේසුස් දැ?” යි ඇසී ය. මන්ද ඔවුන් තමා අතට උන්වහන්සේ පාවා දුන්නේ ඊර්ෂ්‍යාව නිසා බැව් ඔහු දැන සිටියේ ය. පිලාත් විනිශ්චය ආසනයේ හිඳ සිටියදී, ඔහුගේ භාර්යාව ඔහුට පණිවුඩයක් එවමින්, “ඒ ධර්මිෂ්ඨ මිනිසාට කිසිවක් නො කරන්න. මා අද සිහිනෙන් ඔහු ගැන බොහෝ සේ වේදනා වින්දා” යි දැන්වූවා ය. ඒ අතර නායක පූජකයෝ හා වැඩිහිටියෝ, බරබ්බස් නිදහස් කරන ලෙසත්, යේසුස්වහන්සේ මරා දමන ලෙසත් ඉල්ලන්නට සමූහයා කැමති කරවා ගත්හ. ආණ්ඩුකාරයා යළි ඔවුන් අමතමින්, “මේ දෙදෙනාගෙන් කවුරු මා ඔබට නිදහස් කර දෙනවාට ඔබ කැමති දැ?” යි ඇසී ය. “බරබ්බස්” යයි ඔවුහු කීහ. “එසේ නම්, ක්‍රිස්තුස් ය කියන මේ යේසුස්ට මා කුමක් කළ යුතු දැ?” යි පිලාත් ඇසී ය. “ඔහු කුරුසියේ ඇණ ගසනු” යි ඔවුහු සියල්ලෝ කීවෝ ය. “ඇයි? ඔහු මොන අපරාධයක් කළාට දැ?” යි පිලාත් ඇසී ය. එහෙත් ඔවුහු, “ඔහු කුරුසියේ ඇණ ගසනු!” යි කියමින් ඝෝෂා කළහ.

