උදයේ සියලු නායක පූජකවරු හා ජනතා වැඩිහිටියෝ යේසුස්වහන්සේ මරණයට පත් කරන්නට උන්වහන්සේට එරෙහිව කතිකා කළහ. ඔවුහු උන්වහන්සේ යදමින් බැඳ, පිටත ගෙන ගොස්, ආණ්ඩුකාර පිලාත්ට බාර දුන්හ.
යේසුස්වහන්සේ පාවා දුන් යූදස්, උන්වහන්සේ මරණයට තීන්දු වූ වග දැක, කනස්සලු වී, රිදී කාසි තිහ ගෙන නායක පූජකයින් හා වැඩිහිටියන් වෙත ගොස්, “නිර්දෝෂ ලේ පාවා දීමෙන් මා පව් කළා” යි කීවේ ය.
“ඉතින් අපට මොකද? ඒක උඹ ම බලාගනින්” යැයි ඔවුහු කීහ.
දේව මාලිගය තුළට රිදී කාසි වීසි කළ ඔහු එතැනින් ඉවත් ව ගොස් එල්ලී මළේ ය.
එහෙත් නායක පූජකවරු එම රිදී කාසි අහුලා, “දේව මාලිග භාණ්ඩාගාරයේ මේවා දැමීම යුතු නැත. මන්ද මේවා ලේ-මුදල් යැ” යි කීහ. එබැවින්, ඔවුහු සාකච්ඡා කර, එම මුදලින් අමුත්තන් සඳහා සොහොන් පිටියක් වශයෙන් කුඹල්කරුගේ කෙත මිලට ගත්හ. එබැවින් එම කෙත අද දවස දක්වාත් ලේ පිටිය නමින් හැඳින් වේ. මෙසේ, දිවැසිවර යෙරමියා විසින් ප්‍රකාශිත, “ඉශ්රායෙල් ජනයා විසින් උන්වහන්සේට නියම කරන ලද මිලය වන රිදී කාසි තිහ ගත් ඔවුහු, ස්වාමින්වහන්සේ මට අණ කළ පරිදි, කුඹල්කරුගේ කෙත මිලට ගැනීමට ඒ මුදල යෙදවූහ” යන්න සම්පූර්ණ විය.
මේ අතර යේසුස්වහන්සේ, ආණ්ඩුකරු ඉදිරියේ සිට ගත්තේ ය. ආණ්ඩුකරු, “ඔබ යුදෙව්වන්ගේ රජ දැ?” යි උන්වහන්සේගෙන් ඇසුවේ ය.
“ඔබ ම එසේ කියන්නෙහි යැ” යි යේසුස්වහන්සේ පැවසූ සේක.
එහෙත් නායක පූජකයින් හා වැඩිහිටියන් උන්වහන්සේට චෝදනා කළ විට, උන්වහන්සේ කිසි පිළිතුරක් නො දුන් සේක. එවිට පිලාත්, “ඔබට ඇහෙන්නේ නැද්ද මොන තරම් දෑ ගැන මොවුන් ඔබට එරෙහිව සාක්ෂි දෙනවා ද කියා?” යි උන්වහන්සේගෙන් ඇසී ය. එහෙත් යේසුස්වහන්සේ ඒ එක චෝදනාවකට හෝ කිසි පිළිතුරක් නුදුන් සේක; එවිට ආණ්ඩුකරු මහත් විස්මයට පත් විය.
ජනයා ඉල්ලන කවුරුන් හෝ එක් සිරකරුවකු, මංගල්‍යය නිමිත්තෙන් ආණ්ඩුකරු නිදහස් කර දෙන සිරිතක් විය. බරබ්බස් නම් වූ ප්‍රසිද්ධ සිරකරුවෙක් එකල ඔවුන්ට සිටියේ ය. එබැවින්, ජනයා එක් රොක් වූ කල පිලාත්, ඔවුන් අමතමින්, “මා ඔබට කවරකු නිදහස් කර දෙනවාට ඔබ කැමති ද? බරබ්බස් ද? නැති නම් ක්‍රිස්තුස් ය කියන යේසුස් දැ?” යි ඇසී ය. මන්ද ඔවුන් තමා අතට උන්වහන්සේ පාවා දුන්නේ ඊර්ෂ්‍යාව නිසා බැව් ඔහු දැන සිටියේ ය.
පිලාත් විනිශ්චය ආසනයේ හිඳ සිටියදී, ඔහුගේ භාර්යාව ඔහුට පණිවුඩයක් එවමින්, “ඒ ධර්මිෂ්ඨ මිනිසාට කිසිවක් නො කරන්න. මා අද සිහිනෙන් ඔහු ගැන බොහෝ සේ වේදනා වින්දා” යි දැන්වූවා ය.
ඒ අතර නායක පූජකයෝ හා වැඩිහිටියෝ, බරබ්බස් නිදහස් කරන ලෙසත්, යේසුස්වහන්සේ මරා දමන ලෙසත් ඉල්ලන්නට සමූහයා කැමති කරවා ගත්හ.
ආණ්ඩුකාරයා යළි ඔවුන් අමතමින්, “මේ දෙදෙනාගෙන් කවුරු මා ඔබට නිදහස් කර දෙනවාට ඔබ කැමති දැ?” යි ඇසී ය.
“බරබ්බස්” යයි ඔවුහු කීහ.
“එසේ නම්, ක්‍රිස්තුස් ය කියන මේ යේසුස්ට මා කුමක් කළ යුතු දැ?” යි පිලාත් ඇසී ය.
“ඔහු කුරුසියේ ඇණ ගසනු” යි ඔවුහු සියල්ලෝ කීවෝ ය.
“ඇයි? ඔහු මොන අපරාධයක් කළාට දැ?” යි පිලාත් ඇසී ය.
එහෙත් ඔවුහු, “ඔහු කුරුසියේ ඇණ ගසනු!” යි කියමින් ඝෝෂා කළහ.
තම වෑයම නිෂ්ඵල බවත්, ඊටත් වඩා ඔවුන්ගේ ගාලගෝට්ටිය ඇරඹුණු බවත් දුටු පිලාත්, ජලය ගෙන සමූහයා ඉදිරියේ තම අත් සෝදා ගනිමින්, “මේ මිනිසාගේ ලේ ගැන මා නිර්දෝෂයි. එහි වගකීම නුඹලා පිට යැ!” යි කීවේ ය.
මුළු ජනතාව පිළිතුරු දෙමින්, “ඔහුගේ ලේ අප පිටත්, අපගේ දරුවන් පිටත් වේවා!” යි කීහ.
ඉන්පසු ඔවුනට බරබ්බස් නිදහස් කර දුන් පිලාත්, යේසුස්වහන්සේට තලවා, කුරුසියේ ඇණ ගසන්නට බාර දුන්නේ ය.