මතෙව් 27:1-10

මතෙව් 27:1-10 SCV

උදයේ සියලු නායක පූජකවරු හා ජනතා වැඩිහිටියෝ යේසුස්වහන්සේ මරණයට පත් කරන්නට උන්වහන්සේට එරෙහිව කතිකා කළහ. ඔවුහු උන්වහන්සේ යදමින් බැඳ, පිටත ගෙන ගොස්, ආණ්ඩුකාර පිලාත්ට බාර දුන්හ. යේසුස්වහන්සේ පාවා දුන් යූදස්, උන්වහන්සේ මරණයට තීන්දු වූ වග දැක, කනස්සලු වී, රිදී කාසි තිහ ගෙන නායක පූජකයින් හා වැඩිහිටියන් වෙත ගොස්, “නිර්දෝෂ ලේ පාවා දීමෙන් මා පව් කළා” යි කීවේ ය. “ඉතින් අපට මොකද? ඒක උඹ ම බලාගනින්” යැයි ඔවුහු කීහ. දේව මාලිගය තුළට රිදී කාසි වීසි කළ ඔහු එතැනින් ඉවත් ව ගොස් එල්ලී මළේ ය. එහෙත් නායක පූජකවරු එම රිදී කාසි අහුලා, “දේව මාලිග භාණ්ඩාගාරයේ මේවා දැමීම යුතු නැත. මන්ද මේවා ලේ-මුදල් යැ” යි කීහ. එබැවින්, ඔවුහු සාකච්ඡා කර, එම මුදලින් අමුත්තන් සඳහා සොහොන් පිටියක් වශයෙන් කුඹල්කරුගේ කෙත මිලට ගත්හ. එබැවින් එම කෙත අද දවස දක්වාත් ලේ පිටිය නමින් හැඳින් වේ. මෙසේ, දිවැසිවර යෙරමියා විසින් ප්‍රකාශිත, “ඉශ්‍රායෙල් ජනයා විසින් උන්වහන්සේට නියම කරන ලද මිලය වන රිදී කාසි තිහ ගත් ඔවුහු, ස්වාමින්වහන්සේ මට අණ කළ පරිදි, කුඹල්කරුගේ කෙත මිලට ගැනීමට ඒ මුදල යෙදවූහ” යන්න සම්පූර්ණ විය.

මෙයට අදාළ වීඩියෝ

මතෙව් 27:1-10 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය