ඉන්පසු ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “මා නිසා ඔබ හැම මේ රැයේ ම මා අතහැර යනු ඇත. මන්ද,
“ ‘මම එඬේරාට පහර දෙන්නෙමි;
රැළේ බැටළුවෝ එවිට විසුරුවනු ලබති’ යි
ලියා ඇත.
එහෙත් යළි මා නැගිටුවනු ලැබූ පසු, ඔබට කලින් මම ගලීලයට යන්නෙමි” යි පැවසූ සේක.
එවිට පේතෘස් කතා කරමින්, “ඔබ නිසා හැම දෙනා ඔබ හැර දා ගියත්, මම කිසි කලෙක හැර නො යමි” යි කී ය.
යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්. “සැබවින් ම මා ඔබට කියන්නේ, අද මේ රැයේ, කුකුළා හඬලන්නට පළමු මා හඳුනන්නේ නැතැයි ඔබ තුන් වතාවක් ම කියනු ඇතැ” යි පැවසූ සේක.
“ඔබ සමඟ මට මියෙන්නට සිදු වෙතත්, කිසි කලෙක මා ඔබ ප්‍රතික්ෂේප කරන්නේ නැතැ” යි පේතෘස්, ප්‍රකාශ කළේ ය. සෙසු ගෝලයෝ සැවොම ඒ දේ ම කීහ.
ඉන්පසු තම ගෝලයින් සමඟ ගෙත්සෙමන නම් ස්ථානයට පැමිණි යේසුස්වහන්සේ, “මා අතැනට ගොස්, යාච්ඤා කරන තුරු, මෙහි හිඳ සිටින්නැ” යි ඔවුනට කී සේක. උන්වහන්සේ පේතෘස් හා සෙබදීගේ පුතුන් දෙදෙනා කැටිව ගොස්, ශෝක වන්නටත්, සංවේගී වන්නටත් විය. එකල උන්වහන්සේ ඔවුන් අමතමින්, “මැරෙන තරමට මගේ ජීවය ශෝකයෙන් මිරිකෙයි. මා සමඟ මෙහි අවදියෙන් ඉන්නැ” යි පැවසූ සේක.
ඉන්පසු එයින් මදක් ඔබ්බට ගිය උන්වහන්සේ බිම වැටී, මුහුණ බිමට නමා, යාච්ඤා කරමින්, “මගේ පියාණෙනි, කළ හැකි නම් මේ කුසලාන මා වෙතින් ඉවත් කළ මැනව. එහෙත්, මගේ කැමැත්ත ලෙස නො ව, ඔබගේ කැමැත්ත ලෙස වේවා!” යි කී සේක.
ඉන්පසු ගෝලයින් වෙත පැමිණි කල, ඔවුන් නිදා සිටිනු දුටු උන්වහන්සේ පේතෘස් අමතමින්, “මා සමඟ එක පැයක් අවදියෙන් ඉන්න ඔබට බැරි වුණා ද? පරීක්ෂාවට නො වැටෙන පිණිස, අවදිව සිටිමින් යාච්ඤා කරන්න. ආත්මය කැමතියි. එහෙත් මාංසය දුර්වල යැ” යි කී සේක.
දෙවන වරටත් ඔවුන් වෙතින් මෑත් වූ යේසුස්වහන්සේ, “මගේ පියාණෙනි, මා පානය කරනු ලැබීමෙන් තොර ව මේ කුසලාන ඉවත් කළ නො හැකි නම්, ඔබගේ කැමැත්තම වේවා!” යි යාච්ඤා කළ සේක.
යළි ගෝලයින් වෙත ආ උන්වහන්සේ ඔවුන් යළි නිදා සිටිනු දුටු සේක. මන්ද ඔවුන්ගේ ඇස් නිදි බර ව තිබිණි. ඔවුන් වෙතින් යළිත් මෑතට ගිය උන්වහන්සේ, තුන් වන වරටත් යාච්ඤා කරමින්, එම වචන ම පැවසූ සේක.
ඉන්පසු යළිත් ගෝලයින් වෙත ආ උන්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබ තවමත් නිදාගෙන විවේක ගන්නවා ද? මෙන්න, පැය ළං වෙලා; මනුෂ්‍ය පුත්‍රයාණන් පව්කරුවන්ගේ අත්වලට පාවා දෙනු ලබයි. නැගිටින්න; අපි යමු. මෙන්න, මා පාවා දෙන්නා එන්නේ යැ!” යි පැවසූ සේක.
උන්වහන්සේ කතා කරද්දී ම, දොළොස් දෙනාගෙන් කෙනකු වූ යූදස් එහි ළඟා වූයේ, නායක පූජකයින් හා ජනයාගේ වැඩිහිටියන් විසින් එවනු ලැබූ, කඩු මුගුරු රැගත් මහා පිරිසක් ද සමඟ ය. පාවා දෙන්නා කණ්ඩායමට ලකුණක් දෙමින්, “මම යමකු සිඹිම් ද තැනැත්තා ඔහුයි; ඔහු අල්ලා ගන්නැ” යි සූදානම් කොට තිබිණි. ඔහු කෙළින් ම යේසුස්වහන්සේ වෙත ගොස්, “සෙත් වේවා රබ්බී!” යි කියා උන්වහන්සේ සිප ගත්තේ ය.
“මිත්‍රය, ඔබ කරන්නට ආ දේ කරන්නැ” යි යේසුස්වහන්සේ ඔහුට පැවසූ සේක.
පැමිණි පිරිස එවිට ඉදිරියට අවුත්, යේසුස්වහන්සේ පිට අත් හෙළා, උන්වහන්සේ අත්අඩංගුවට ගත්හ. එවිට මෙන්න, යේසුස්වහන්සේ සමඟ සිටි කෙනෙක් අත දිගු කොට, තම කඩුව ඇද, උත්තම පූජකයාගේ දාසයාගේ කන කැපෙන්නට කඩු පහරක් ගැසී ය.
යේසුස්වහන්සේ, එවිට ඔහු අමතමින්, “ඔබේ කඩුව යළි කොපුවේ දමා ගන්න. මන්ද කඩුගත් සියල්ලෝ කඩුවෙන් ම නසිති. මගේ පියාණන්වහන්සේගෙන් ආධාර ඉල්ලන්නට මට බැරියැයි ඔබ සිතනවා ද? එවිට මේ දැන් මා වෙත දේව දූත සේනාංක දොළහක් උන්වහන්සේ නො එවාවි ද? එසේ කළහොත් විය යුතු යයි කියැවෙන ශුද්ධ ලියවිලි පාඨ ඉටු වන්නේ කෙසේ දැ?” යි පැවසූ සේක.
ඒ පැයේදී යේසුස්වහන්සේ පිරිස් අමතමින්, “මංකොල්ලකරුවකුට එරෙහිව මෙන් කඩු මුගුරු ගෙන නුඹලා මා අල්ලන්නට ආවා ද? දවස්පතා මම දේව මාලිගයේ හිඳ ඉගැන්වූයෙමි. එහෙත් නුඹලා මා අල්ලා ගත්තේ නැත. සැබවින් ම මේ හැම එකක් ම සිදු වූයේ දිවැසිවරුන්ගේ ලියවිලි ඉටු වන පිණිස යැ” යි කී සේක. එවිට උන්වහන්සේගේ ගෝලයෝ හැම උන්වහන්සේ අත්හැර පලා ගියහ.
ඉන්පසු, යේසුස්වහන්සේ අල්ලා ගත් අය, උත්තම පූජක කායාපස් වෙත උන්වහන්සේ ගෙන ගියහ. දහම් පඬිවරුන් හා ජනයාගේ වැඩිහිටියෝ එහි රැස් වී සිටියහ. උත්තම පූජක මැදුරේ මිදුල තෙක් මදක් දුරින්, යේසුස්වහන්සේ පසුපසින් ගිය පේතෘස් ඉන්පසු එහි ඇතුළු ව, කුමක් වේ දෝයි බලනු පිණිස, මුර සේවකයන් හා හිඳ ගත්තේ ය.
නායක පූජකවරු හා මුළු මන්ත්‍රණ සභාව යේසුස්වහන්සේ මරණයට පමුණු වන පිණිස, උන්වහන්සේට විරුද්ධ ව බොරු සාක්ෂි සොයන්නට වූහ. බොරු සාක්ෂිකරුවන් බොහෝ දෙනෙක් ඉදිරිපත් වුව ද, ඔවුන්ට කිසිවක් සොයාගත නො හැකි විය.
අන්තිමේදී දෙදෙනෙක් ඉදිරිපත් වී, “ ‘දෙවියන්වහන්සේගේ දේව මාලිගය කඩා දමා, තුන් දවසකින් එය යළි ගොඩ නගන්න මට පුළුවන් ය’ කියා මොහු කීවා” යි ප්‍රකාශ කළහ.
එවිට උත්තම පූජකයා නැගිට, “ඔබට දෙන්නට උත්තර නැති ද? මේ මිනිසුන් ඔබට විරුද්ධ ව ගෙනෙන මේ සාක්ෂිය කුමක් දැ?” යි ඇසී ය. එහෙත් යේසුස්වහන්සේ නිහඬ ව සිටි සේක.
එවිට උත්තම පූජකයා උන්වහන්සේ අමතමින්, “දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වූ ක්‍රිස්තුස්වහන්සේ ඔබ නම්, ඒ වග අපට කියන ලෙස, ජීවමාන දෙවියන්වහන්සේගේ නාමයෙන් දිවුරා ඔබට අණ කරමි” යි පැවසී ය.
යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ඔබ ම කීවෙහි ය. එහෙත් මා ඔබට කියන්නේ, මනුෂ්‍ය පුත්‍රයාණන් පරාක්‍රමයාණන්වහන්සේගේ දකුණු පස අසුන් ගෙන සිටිනු ද අහසේ වලාකුළු මතින් පැමිණෙනු ද මෙතැන් පටන් ඔබ දකිනු ඇත කියා යැ” යි පැවසූ සේක.
එවිට තම හැඳිවත් ඉරා ගත් උත්තම පූජකයා, “ඔහු කීවේ දේවාපහාස! තවත් සාක්ෂිකරුවන් අපට කුමට ද? මේ දැන් ඔහුගේ දේවාපහාසය ඔබට ඇහුණා; ඔබේ තීරණය කුමක් දැ?” යි පැවසී ය.
“ඔහු සුදුසු මරණයට යැ” යි ඔවුහු පිළිතුරු දුන්හ.
එවිට ඔවුහු, උන්වහන්සේගේ මුහුණට කෙළ ගැසූහ; මිට මොළවා පහර දුන්හ. සෙසු අය උන්වහන්සේට අත්මිටින් පහර දෙමින්, “ඔබට ගැහුවේ කවුරු ද කියා දිවැසින් අපට කිව මැනව ක්‍රිස්තුනි” යි කීහ.
මේ අතර පේතෘස් පිටත මිදුලේ හිඳගෙන සිටියේ ය. සේවිකාවක් ඔහු වෙත අවුත්, “ගලීල යේසුස් සමඟ ඔබත් සිටියා” යි කීවා ය.
එහෙත් ඒ සියල්ලන් ඉදිරියේ එය ප්‍රතික්ෂේප කළ ඔහු, “ඔබ මොනවා කියනවාදැයි මා දන්නේ නැතැ” යි කීවේ ය.
ඉන්පසු ඔහු පිටත දොරකඩ වෙත ගියේ ය. එහිදී වෙනත් සේවිකාවක් ඔහු දැක, “මේ මිනිහා අර නාසරෙත්හි යේසුස් සමඟ සිටියා” යි එහි සිටියවුනට කීවා ය.
යළිත් ඔහු එය ප්‍රතික්ෂේප කරමින්, “මා ඒ මිනිසා හඳුනන්නේ නැතැ!” යි දිවුරා කීවේ ය.
මද වේලාවකට පසු ඔහු අසල සිටි අය ඔහු ළඟට අවුත්, “ඇත්තෙන් ම ඔබ ඔවුන්ගෙන් කෙනෙක් තමයි. ඔබගේ උච්චාරණය ඔබ පාවා දේ යැ” යි කීහ.
එවිට ඔහු තමාට ම ශාප කර ගන්නටත්, “මා ඒ මිනිසා හඳුනන්නේ නෑ!” යි කියමින් දිවුරන්නටත් වන්නේ ය.
එකෙණෙහි ම කුකුළා හැඬලී ය.