මලාකී 3
3
1“මෙන්න මම මගේ දූතයා යවමි. ඔහු මට පෙරටුවෙන් මාවත සකසන්නේ ය. එවිට ඔබ සොයන ස්වාමින්වහන්සේ හදිසියේ ම ස්වකීය මාලිගයට එනු ඇත; ගිවිසුමේ දූතයාණන් හා ඔබේ අභිලාෂය වන තැනැත්තාණෝ අන්න, උන්වහන්සේ එන්නාහ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක.
2එහෙත් උන්වහන්සේගේ පැමිණීමේ දවස දරන්නට කවරකුට හැකි වේ ද? උන්වහන්සේ පෙනී සිටින කල, කෙළින් සිටිය හැක්කේ කවරකුට ද? මන්ද උන්වහන්සේ රන්කරුවකුගේ උදුනේ ගින්න මෙන් ද අපුල්ලන්නාගේ සබන් මෙන් ද වන බැවිනි. 3උන්වහන්සේ රිදී පවිත්‍ර කරන්නකු හා ශුද්ධ කරන්නකු ලෙස අසුන් ගන්නා සේක්, ලෙවීවරුන් පිරිසිදු කර, රන් හා රිදී සේ ඔවුන් පවිත්‍ර කරන සේක. එවිට ධර්මිෂ්ඨකමින් පූජා ගෙනෙන්නන් ස්වාමින්වහන්සේට සිටිනු ඇත. 4එවිට යූදා හා යෙරුසලම් පුද පූජා යටගිය දවස්වලදී හා අතීත අවුරුදුවලදී මෙන් ස්වාමින්වහන්සේට ප්‍රසන්න වනු ඇත.
5“එවිට මම විනිශ්චය කරන්නට ඔබ වෙත ළඟා වෙමි. මන්තරකරුවන්, පරදාරිකයින්, බොරුව දිවුරන්නන් යන අයට එරෙහිව හා වැඩ-කරුවන්ගේ කුලී වංචා කරන්නන්ට එරෙහිව ද වැන්දඹුවන් හා පියා නැති අනාථ දරුවන් හිංසනයට පත් කරන්නන්ට එරෙහිව ද පිට දේශකයින්ගේ අයිතීන් පැහැරගන්නන්ට හා එකී අයුරින් මට භය පක්ෂපාත නො වන්නන්ට එරෙහිව ද සීඝ්රයෙන් සාක්ෂි දෙන්නෙමි” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක.
දසයෙන් කොටස්
6“ස්වාමින්වහන්සේ වන මා වෙනස් වන්නේ නැත. එම්බා යාකොබ්ගෙන් පැවත එන්නනි, නුඹලා විනාශ නො වී සිටින්නේ එබැවිනි. 7ඔබේ පියවරුන්ගේ දවස්වල පටන් නුඹලා මගේ නියෝගවලට පිටුපෑවා විනා, ඒවා රක්ෂා කළේ නැත; ආපහු මා වෙත එන්න; මමත් ඔබ වෙත ආපහු එන්නෙමි” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක.
“එහෙත් ඔබ අසන්නේ, ‘ඔබ වෙත අප ආපහු එන්නේ කොහොම ද?’ කියා ය.
8“මිනිහෙක් දෙවියන්වහන්සේගෙන් පැහැර ගන්නේ ද? එසේ වුවත් නුඹලා මගෙන් පැහැර ගනිති.
“ ‘අප කෙසේ ඔබගෙන් පැහැර ගන්නවා දැ’ යි නුඹලා අසති.
“දසයෙන් කොටස්වලින් හා පඬුරු පූජාවලිනි. 9නුඹලා මගෙන් පැහැර ගන්න නිසා, නුඹලාගේ මුළු මහත් ජාතිය පිට ශාපයක් තිබේ. 10මගේ ගෘහයෙහි භෝජන තිබෙන පිණිස, පූර්ණ දසයෙන් කොටස් ගබඩා ගෙට ගෙනෙන්න. එසේ මා පරීක්ෂා කර බලන්නැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. “එවිට මම ස්වර්ගයේ කවුළු ඇර, තවත් මදියි නො කියන්නට ම ආශිර්වාද වගුරුවා නො දෙම්දැයි බලන්න. 11ඔබේ බිමේ පලදාව විනාශ කරන කෘමී-වසංගත මම නවතන්නෙමි. ඔබේ කෙත් වත්හි මිදි වැල්වල අකලට පල නො හැලේ යැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. 12“එවිට, නුඹලා භාග්‍යවත් ජනතාවකැයි සියලු ජාතීන් කියනු ඇත. මන්ද සොම්නස් දේශය ඔබගේ වන්නේ යැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක.
දමිටුවා හා අදමිටුවා
13“මට එරෙහිව ඔබ පරුෂ වචන පවසා ඇතැ” යි ස්වාමින්වහන්සේ පවසන සේක.
“එසේ වුවත් ඔබ කියන්නේ, ‘ඔබට එරෙහිව අප කියා ඇත්තේ මොනවා ද?’ කියා ය.
14“ඔබ කියා ඇත්තේ, ‘දෙවියන්වහන්සේට මෙහෙ කිරීම නිෂ්ඵල ය. උන්වහන්සේගේ නියමයන් පිළිපැදීමෙන් හා සේනාංකවල ස්වාමින්වහන්සේ ඉදිරියෙහි ශෝක වන්නා සේ හැසිරීමෙන් අපට අත්වූයේ කවර සෙතක් ද? 15දැන් අහංකාරීන් වාසනාවත් බව අපට කිව හැකි ය. දුෂ්ටකම් කරන්නන් සැබවින් ම සඵලවත් ය. ඔවුහු දෙවියන්වහන්සේ ව පරීක්ෂා කරතත් බේරී සිටිති’ කියා” ය.
විශ්වාසවන්ත ඉතිරි වූවෝ
16එවිට, ස්වාමින්වහන්සේට භය පක්ෂපාත වූවෝ, එකිනෙකා හා කතා කර ගත්හ. ස්වාමින්වහන්සේ අවධානය යොමා, සවන් දුන් සේක. ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී වූ ද උන්වහන්සේගේ නාමයට ගෞරවය දැක් වූ ද අය ගැන සැමරුම් ලියවිල්ලක් උන්වහන්සේ අබියස ලියා තබන ලදී.
17“මා සූදානම් කරන දවසේ ඔවුන් මට මගේ ම සම්පත වන්නේ යැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. මිනිසකු තමාට මෙහෙ කරන තම පුත්‍රයාට අනුකම්පා සහගත ව සලකන්නා සේ, ඔවුන්ට අනුකම්පා සහගත ව සලකමි. 18එවිට ධර්මිෂ්ඨයා හා දුෂ්ටයා අතරේ ද දෙවියන්වහන්සේට සේවය කරන්නා හා නො කරන්නා අතරේ ද ඇති වෙනස, පැහැදිලි ව යළි ඔබ දකිනු ඇත.
දැනට තෝරාගෙන ඇත:
මලාකී 3: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.