මලාකී 2:1-9

මලාකී 2:1-9 SCV

“එම්බා පූජකයිනි, දැන් මේ ආඥාව නුඹලාට ය. නුඹලා මට සවන් නො දෙන්නේ නම්, මගේ නාමයට ගෞරව කරන්නට නුඹලාගේ හදින් වග බලා ගන්නේ නැති නම්, මම නුඹලා පිට ශාපයක් එවන්නෙමි. නුඹලාගේ ආශිර්වාදවලට ද ශාප කරන්නෙමි” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. “ඇත්තෙන් ම, මට ගෞරව කරන්නට නුඹලා වග බලා ගත්තේ නැති නිසා මම දැනටමත් ඒවාට ශාප කර ඇත්තෙමි. “මෙන්න! නුඹලා නිසා මම නුඹලාගේ වංශයට ද තරවටු කරන්නෙමි. නුඹලාගේ උත්සව යාග පූජාවල සතුන්ගේ අපද්‍රව්‍ය නුඹලාගේ මුහුණුවල තවරන්නෙමි. ඒවා සමඟ නුඹලා ද ඉවත් කර දමනු ලබති. මෙම ආඥාව මා නුඹලා වෙත එවුවේ, ලෙවී සමඟ වූ මගේ ගිවිසුම දිගට ම පවතින පිණිස වග එවිට නුඹලා දැනගනු ඇතැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. ඔහු සමඟ වූ මගේ ගිවිසුම ජීවනයේත්, සාමයේත් ගිවිසුමකි; මා ඒවා ඔහුට දුන්නේ ගෞරව දක්වනු පිණිස ය. ඔහු මට ගෞරව ප්‍රණාම දැක්වී ය. මගේ නාමයට භය පක්ෂපාතී ව සිටියේ ය. සත්‍ය ගුරු උපදෙස් ඔහුගේ මුවෙහි විය. අසත්‍ය කිසි දෙයක් ඔහුගේ දෙතොලතරෙහි නො වී ය. ඔහු සාමයෙන් ද අවංකත්වයෙන් ද යුතු ව මා සමඟ ගැවසෙමින්, බොහෝ දෙනකු පාපයෙන් හැරවී ය. “මන්ද දැනගැන්ම පූජකයාගේ තොල් අතරෙහි පැවතිය යුතු ම ය. මිනිසුන් උපදෙස් සොයා යා යුත්තේ ද ඔහුගේ මුවිනි. මන්ද සේනාංකවල ස්වාමින්වහන්සේගේ පණිවුඩකරුවා ඔහු ය. එහෙත් පූජක නුඹලා මාර්ගයෙන් ඉවත හැරී ගොසිනි. ඉගැන්වීම් මගින් බොහෝ දෙනකු පැකිළෙන්නට සලසා ඇත. ලෙවී ගිවිසුම ද නුඹලා දූෂ්‍ය කොට ඇතැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. “එබැවින් නුඹලා මගේ මාර්ග රක්ෂා නො කර, ව්‍යවස්ථාවේ කටයුතුවලදී තරාතිරම් දැක් වූ නිසා මමත් මුළු මහත් ජනයා ඉදිරියෙහි නුඹලා නීච වී, අවමානයක් වන්නට සැලැස්වීමි.”

මෙයට අදාළ වීඩියෝ