ඇරියුම් ලද්දෝ පැමිණ ගරු ආසන තෝරා ගන්නා හැටි දුටු උන්වහන්සේ, ඔවුනට මෙම උපමා කතාව පැවසූ සේක. “මංගල සාදයකට ඔබට ඇරියුම් ලැබුණු කල, මුල් ආසනයකට නො යන්න. මන්ද ඔබට වඩා උසස් කෙනකු ද ඇරියුම් ලබා සිටින්නට පුළුවන. ඔබ දෙපොළට ම ඇරියුම් කළ තැනැත්තා පැමිණ, ‘ඔය ආසනය මොහුට දෙන්නැ’ යි කීවොත්, අවමානයෙන් යුතු ව පහළ අසුනකට යෑමට ඔබට සිදු වෙයි. එනිසා යමෙක් ඔබ කැඳවූ කල, පහළ අසුනක හිඳගන්න. එවිට ඔබ කැඳවූ තැනැත්තා අවුත්, ‘එන්න සබඳ, මේ මුල් පෙළට එන්නැ’ යි කීවොත් ඔබ සමඟ සිටින සියලු අමුත්තන් ඉදිරියේ ඔබට ගෞරව ලැබෙයි. මන්ද තමා ම උසස් කර ගන්නා හැම කෙනෙක් ම පහත් කරනු ලැබේ. තමා ම පහත් කර ගන්නා තැනැත්තා උසස් කරනු ලැබේ” යි කී සේක.
ඉන්පසු යේසුස්වහන්සේ තමන්ට ඇරියුම් කළ තැනැත්තාට කතා කොට, “ඔබ භෝජන සංග්‍රහයක් දහවල හෝ රාත්‍රියේ පවත්වන කල, ඔබේ මිතුරන්, සහෝදරයින්, ඔබේ නෑයින් හෝ ධනවත් අසල්වාසීන් නො කැඳවන්න. ඔබ එසේ කළහොත් ඔවුන් ද පෙරළා ඔබට ඇරියුම් කරනු ඇත. එවිට ඔබේ ක්‍රියාවනට ප්‍රතිවිපාක ලැබේ. එබැවින් ඔබ භෝජන සංග්‍රහයක් පවත්වන කල දුප්පතුන්ට, අබ්බගාතයින්ට, කොරුන්ට හා අන්ධයින්ට ඇරියුම් කරන්න. පෙරළා ඔබට සංග්‍රහ කරන්නට ඔවුන්ට නො හැකි බැවින්, ඔබ භාග්‍යවන්තයි. ධර්මිෂ්ඨයින්ගේ නැවත නැගිටීමේදී ඔබට ඊට ප්‍රතිඵල ලැබෙනු ඇතැ” යි පැවසූ සේක.
උන්වහන්සේ සමඟ මේසයට වාඩි වී සිටි කෙනෙක් ඒ අසා, “දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ රොටි වළඳන තැනැත්තා ආශිර්වාද ලද්දෙකැ” යි උන්වහන්සේට කීවේ ය.
යේසුස්වහන්සේ කතා කරමින්, “එක් මිනිහෙක් මහ ජයට භෝජන සංග්‍රහයක් පිළියෙල කර, බොහෝ දෙනකුට ඇරියුම් කළා. භෝජන වේලාව ළං වූ කල, ඇරියුම් කර තිබූ අය වෙත තම සේවකයා පිටත් කළ ඔහු, ‘එන්න, දැන් සියල්ල ලැහැස්තියි’ කියා යැව්වා.
“එහෙත් ඔවුහු සැවොම නෑවිත් සිටීමට හේතු දක්වන්නට වුණා. පළමු වැන්නා කරුණු දක්වමින්, ‘මා මේ ඉඩම් කැබැල්ලක් ගත්තා විතරයි; එය බලන්නට යා යුතු ව තියෙනවා. එන්නට නො හැකිවීම ගැන හරි කණගාටුයි’ කීවා.
“තව කෙනෙක්, ‘මා ගොන් බාන් පහක් ගෙනාවා. උන් හොඳින් වැඩ කරත් දැයි බලන්නටයි මේ ලැහැස්තිය. අනේ බොහොම කණගාටුයි; අද එන්න බැරි යැ’ යි කීවා.
“තවත් කෙනෙක්, ‘මා භාර්යාවක් ආවාහ කර ගත්තා විතරයි; එනිසා එන්නට බැහැ’ යි කීවා.
“සේවකයා ආපසු ගොස්, තම හාම්පුතුට එපවත් දැන්වූවා. ඉන් කෝප වූ ගෘහපතියා, ‘නගරයේ වීදිවලටත්, අතුරු පාරවලටත් වහාම ගොස්, දිළින්දන්, අබ්බගාතයින්, අන්ධයින් හා කොරුන් කැඳවාගෙන එනු’ යි තම සේවකයාට කීවා.
“ඒ නියෝගය ඉටු කළ සේවකයා, ‘ස්වාමිනි ඔබ අණ කළ ලෙස කළා. එනමුත් තවත් ඉඩ තිබේ යැ’ යි කීවා.
“එවිට හාම්පුතා, ‘මහ මාවත් දිගේත්, දෙවට පාර දිගේත් ගොස්, මගේ නිවස පිරෙන්නට මිනිසුන් කැඳවාගෙන එන්නැයි සේවකයාට කීවා. මා ඔබට කියන්නේ, ඇරියුම් ලද්දවුන්ගෙන් කිසිවකු මගේ සංග්‍රහයේ රස නො විඳිනා බව යැ’ ” යි පැවසූ සේක.