ලූක් 11:1-10

ලූක් 11:1-10 SCV

යේසුස්වහන්සේ වරක් එක්තරා තැනක යාච්ඤා කරමින් සිට, එය නිම වූ කල, උන්වහන්සේ ඇමතූ උන්වහන්සේගේ ගෝලයෙක්, “ස්වාමිනි, යොහන් තම ගෝලයින්ට ඉගැන්වූවාක් මෙන්, අපටත් යාච්ඤා කරන්න උගන්වන්නැ” යි කීවේ ය. උන්වහන්සේ ඔවුන්ට කතා කරමින්, “ඔබ යාච්ඤා කරන විට මෙසේ පවසන්න: “ ‘පියාණන්වහන්ස, ඔබගේ නාමය පාරිශුද්ධ ව සැලකේවා, ඔබගේ රාජ්‍යය පැමිණේවා, අපගේ දිනපතා භෝජනය, හැම දිනක ම අපට දුන මැනව, අපට වරද කරන හැම කෙනකුට අප කමා වන බැවින්, අපගේ පාප, අපට කමා කළ මැනව; පරීක්ෂාවනට අප නො පැමුණුව මැනව.’ ” උන්වහන්සේ ඔවුන්ට කතා කරමින්, “මිතුරකු සිටින ඔබගෙන් කෙනෙක්, මැදියම් රැයේ ඔහු වෙත ගොස්, ‘මිතුර, මට රොටි තුනක් දෙන්න. දුර ගමනක් යන මගේ මිතුරෙක් මා වෙත පැමිණ සිටී. ඔහුට සංග්‍රහ කරන්නට මා ළඟ කිසිවක් නැතැ’ යි කියන්නේ යයි සිතමු. එවිට මිතුරා ගෙතුළ සිට පිළිතුරු දෙමින්, ‘මට කරදර කරන්න එපා. දොරත් දැන් වහලා; මගේ දරුවන් මා සමඟ ඇඳේ නිදා සිටින නිසා, කිසිවක් දෙන්නට දැන් මට නැගිටින්න බැහැ’ යි කියාවි ද? මා ඔබට කියන්නේ, ඔහු තමන්ගේ මිතුරුකම සලකා, නැගිට ඔහුගේ ඉල්ලීම ඉටු නො කරතත්, ඔහුගේ තිරසර පෙරැත්තය නිසා නැගිට, ඔහුට වුවමනා දෑ දෙනු ඇත කියායි. “එබැවින් මා ඔබට කියන්නේ, ඉල්ලන්න; එවිට ඔබට දෙනු ලැබේ. සොයන්න; එවිට ඔබට සම්බ වේ. තට්ටු කරන්න; එවිට ඔබට දොර අරිනු ලැබේ. මන්ද ඉල්ලන හැමට ලැබේ; සොයන්නාට සම්භ වේ; තට්ටු කරන්නාට අරිනු ලැබේ.