ලෙවී 9
9
පූජක මෙහෙවර ඇරඹේ
1මෝසෙස් අට වන දවසේ ආරොන් ද ඔහුගේ පුතුන් ද ඉශ්රායෙල් ප්‍රජා මූලිකයින් ද කැඳවී ය. 2ඔහු ආරොන් අමතමින්, “ඔබේ පාප පූජාව උදෙසා වහු පැටවකු ද ඔබේ දවන යාග පූජාව උදෙසා බැටළුවකු ද යන වශයෙන් කැළැල් රහිත සතුන් දෙදෙනකු ගෙන, ස්වාමින්වහන්සේ ඉදිරියේ පිළිගන්වන්න. 3ඉන්පසු ඉශ්රායෙල් ජනයාට කතා කොට, ‘පාප පූජාවකට එළු වස්සකු ද දවන යාග පූජාවකට කැළැල් රහිත, එක් අවුරුදු වහු පැටවකු හා බැටළු පැටවකු ද 4ශාන්ති පූජාවකට ගවයකු හා බැටළුවකු ද සමඟ තෙල් මිශ්‍ර ධාන්‍ය පූජාවක් ස්වාමින්වහන්සේ ඉදිරියේ පූජා කිරීමට ගන්න. මන්ද, ස්වාමින්වහන්සේ අද දවසේ ඔබට දර්ශන වන සේක’ කියා කියන්නැ” යි පැවසී ය.
5ඔවුහු, මෝසෙස් අණ කළ දෑ හමුවීමේ කූඩාරම ඉදිරියට ගෙන ආහ. රැස් ව සිටි සැවොම ළං වී, ස්වාමින්වහන්සේඅබියස සිටගත්හ. 6එවිට මෝසෙස් කතා කරමින්, “ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය ඔබට දර්ශන වන පිණිස, ස්වාමින්වහන්සේ ඔබට කරන්නට අණ කළ දෑ මේ යැ” යි කීවේ ය.
7තවද මෝසෙස්, ආරොන් අමතමින්, “ස්වාමින්වහන්සේ අණ කළ පරිදි, පූජාසනය වෙත අවුත්, ඔබේ පාප පූජාවත්, ඔබේ දවන යාග පූජාවත්, ඔප්පු කරමින්, ඔබ උදෙසාත්, ජනයා උදෙසාත් පාප වන්දි නිවාරණය සලසන්න. ජනයා උදෙසා වූ පූජාව යාග කොට, ඔවුන් උදෙසා ද පාප වන්දි නිවාරණය සලසන්නැ” යි කීවේ ය.
8එබැවින් ආරොන් පූජාසනය වෙත අවුත්, තමා උදෙසා පාප පූජාවක් වශයෙන් වූ වහු පැටවා මැරී ය. 9ඔහුගේ පුත්තු උගේ ලේ ඔහු වෙත ගෙන ආහ. ආරොන් තම ඇඟිල්ල ලෙයේ බහා, ඒවා පූජාසනයේ අං මත තැවරී ය. ඉතිරි ලේ, ඔහු පූජාසනය පාමුල හැලී ය. 10පාප පූජාවේ මේදය ද වකුගඩු හා අක්මාවේ දිගු ඛණ්ඩිකාව ද ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි, ඔහු පූජාසනය පිට දවාලී ය. 11එහෙත් ඔහු එහි මස සහ හම දවාලූයේ කඳවුරෙන් පිටතදී ය.
12ඉන්පසු ඔහු දවන යාග පූජා සතා මැරී ය. ඔහුගේ පුත්තු උගේ ලේ ඔහුට දුන්හ. ඔහු පූජාසනයේ පැති සියල්ලේ ඒ ලේ ඉසී ය. 13ඉන්පසු ඔවුහු දවන යාග පූජාව කැබැල්ලෙන් කැබැල්ල ද එහි හිස ද ඔහුට දුන්හ. ඔහු ඒවා පූජාසනය පිට දවාලී ය. 14ඔහු එම පූජාවේ අතුණු සහ කකුල් සෝදා, පූජාසනය මත වූ දවන යාග පූජාව උඩින් ඒවා තබා, දවාලී ය.
15ඉන්පසු ආරොන්, ජනයා උදෙසා වූ පූජාව ගෙන ආවේ ය. ජනයාගේ පාප පූජාව සඳහා වූ එළුවා ගත් ඔහු, ඌ මරා, කලින් වතාවේ කළ පරිදි පාප පූජාවක් කොට ඌ ඔප්පු කළේ ය.
16ඔහු දවන යාග පූජාව ද ගෙන අවුත්, අදාළ පිළිවෙත පරිදි එය ඔප්පු කළේ ය. 17ආරොන් ධාන්‍ය පූජාව ද ගෙන අවුත්, ඉන් අහුරක් ගෙන, පූජාසනය මත දවාලූවේ උදෑසන දවන යාග පූජාවට අමතරව ය.
18ඉන්පසු ඔහු ජනයා උදෙසා ශාන්ති පූජාවේ ගවයා ද බැටළුවා ද මැරී ය. ඔහුගේ පුත්තු එම ලේ ඔහුට දුන්හ. ඔහු පූජාසනයේ පැති සියල්ලෙහි ඒවා ඉසී ය. 19එහෙත් ගවයාගේත්, බැටළුවාගේත් මේද කොටස් වන තෙල්-වලිග ද අතුණු වැසී ඇති මේදය හා වකුගඩු ද අක්මාවේ දිගු ඛණ්ඩිකාව ද 20ගත් ඔවුහු, ඒවා ගව හා බැටළු ළපැත්ත මත අතුළහ. එවිට ආරොන් පූජාසනය මත මේදය දවාලී ය. 21තවද ආරොන් ගව සහ බැටළු ළපැත්ත ද දකුණු කලවය ද ස්වාමින්වහන්සේ අබියස තේව කිරීමේ පූජාවක් වශයෙන් තේව කළේ, මෝසෙස් අණ කළ පරිද්දෙනි.
22ඉන්පසු ආරොන් ජනතාව දෙසට තම අත් ඔසවා, ඔවුනට ආශිර්වාද කළේ ය. මෙසේ, පාප පූජාව ද දවන යාග පූජාව ද ශාන්ති පූජාව ද පිදූ ආරොන් එතැනින් බැස ආවේ ය.
23මෝසෙස් සහ ආරොන් ඉන්පසු හමුවීමේ කූඩාරමට ඇතුළු වූහ. පසුව ඉන් පිටතට ආ ඔවුහු ජනතාවට ආශිර්වාද කළහ. ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය මුළු මහත් ජනතාවට ම දර්ශන විය. 24ස්වාමින්වහන්සේගේ අභිමුඛයෙන් ගිනි නික්ම අවුත්, පූජාසනය පිට වූ දවන යාග පූජාව හා මේද කොටස් දවා දැමිණ. ඒ දුටු ජනයා සියල්ලෝ ප්‍රීති ඝෝෂා නැගුවෝ, මුණින් තලා වැඳ වැටුණෝ ය.
දැනට තෝරාගෙන ඇත:
ලෙවී 9: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.