ලෙවී 5:15-19
ලෙවී 5:15-19 SCV
“යමෙක් ස්වාමින්වහන්සේගේ ශුද්ධ දෙයක් සම්බන්ධ ව අවිශ්වාසවන්ත ව නො කටයුත්තක් කරමින්, නො දැනුවත් ව පව් කළොත්, ඊට වන්දි වශයෙන් ඔහු තම රංචුවෙන් කැළැල් රහිත බැටළුවකු ස්වාමින්වහන්සේ වෙත ගෙන ආ යුතු ය. බැටළුවා ශුද්ධස්ථානයේ වලංගු මිලය වූ ෂෙකෙලයට අනුව රිදී කාසියෙන් නිසි පරිදි තක්සේරු කරන ලද්දක් විය යුතු ය. එය වරද නිවාරණ පූජාවකි. ශුද්ධ දෑ සම්බන්ධයෙන් වූ වරදට ඔහු වන්දි ගෙවිය යුතු ය. තක්සේරු වටිනාකමින් පහෙන් එකක් ද ඊට එකතු කර, සියල්ල පූජකයාට දිය යුතු ය. පූජකයා වරද නිවාරණ පූජාවක් වශයෙන් බැටළුවා යාග කරමින්, ඔහු උදෙසා පාප වන්දි නිවාරණය ඉටු කරනු ඇත. එමඟින් ඔහුට කමා කෙරේ. “යමෙක්, ස්වාමින්වහන්සේගේ සියලු ආඥාවලින් එකකින් තහනම් කර ඇති දෙයක් කළ විටෙක, ඔහු එය නො දැන සිටියේ වුව ඔහු වරදකරුවකු වෙයි. එහි විපාකය ඔහු දැරිය යුතු ය. ඔහු වරද නිවාරණ පූජාවක් වශයෙන්, තම රංචුවෙන් නිසි තක්සේරුවකින් යුතු, කැළැල් රහිත බැටළුවකු පූජකයා වෙත ගෙන ආ යුතු ය. මෙසේ, ඔහු නො දැනුවත් ව වැරදීමකින් කරන ලද වරද උදෙසා, පූජකයා පාප වන්දි නිවාරණය ඉටු කරයි. එමඟින් ඔහුට කමා කෙරේ. එය වරද නිවාරණ පූජාවකි. මන්ද, ස්වාමින්වහන්සේට එරෙහිව කළ වරද නිසා ඔහු වරදකරුවකු ව සිටියේ යැ” යි පැවසූ සේක.

