ලෙවී 27:1-10
ලෙවී 27:1-10 SCV
ස්වාමින්වහන්සේ යළි මෝසෙස් ඇමතූ සේක්, “ඉශ්‍රායෙල් ජනයා අමතා, මෙසේ පවසන්න: ‘ජීවත් වන කෙනකුගේ වටිනාකමට අදාළ ව යමකු, ස්වාමින්වහන්සේට විශේෂ බාරයක් වන්නේ නම්, විසිවන විය පටන් හැටවන විය දක්වා වූ පිරිමියකු සඳහා වන වටිනාකම, ශුද්ධස්ථානයේ සම්මත මිම්මට අනුව රිදී ෂෙකෙල් පනහක් ලෙස තක්සේරු කරන්න. එම වයසේ කාන්තාවක සඳහා, ෂෙකෙල් තිහක් ලෙස තක්සේරු කරන්න. පස් වන විය පටන් විසිවන විය දක්වා වූ පුරුෂයකු සඳහා, ෂෙකෙල් විස්සක් ද ස්ත්‍රියක සඳහා, ෂෙකෙල් දහයක් ද යන වශයෙන් තක්සේරු කරන්න. එක්මස් විය පටන් පස්වස් විය දක්වා පුරුෂ පක්ෂයෙන් රිදී ෂෙකෙල් පහක් ද ස්ත්‍රී පක්ෂයෙන් රිදී ෂෙකෙල් තුනක් ද යන වශයෙන් තක්සේරු කරන්න. හැටවන විය ඉක්ම වූ පුරුෂයකු සඳහා ෂෙකෙල් පහළොවක් ද ස්ත්‍රියක සඳහා ෂෙකෙල් දහයක් ද යන වශයෙන් තක්සේරු කරන්න. බාරය වූ අය, නියමිත මිල ගෙවීමට අපොහොසත් දුගියෙක් වේ නම්, තක්සේරුවට ලක් විය යුත්තා, පූජකයා ඉදිරියට පැමිණ විය යුතු ය. එවිට, බාරය වූ අයට දැරිය හැකි පරිදි පූජකයා ඔහු වෙනුවෙන් තක්සේරුවක් කරනු ඇත. “ ‘ඔහු බාරය වූයේ ස්වාමින්වහන්සේට පූජාවක් වශයෙන් පිළිගත හැකි වූ සතකු නම්, ස්වාමින්වහන්සේට වෙන් කළ එම සතා ශුද්ධ බවට පත් වේ. ඔහු, ඌ මාරු නො කළ යුතු ය. හොඳ එකකු වෙනුවට නරක එකකුවත්, නරක එකකු වෙනුවට හොඳ එකකුවත් මාරු නො කළ යුතු ය. එසේ කළහොත්, බාර වූ සතාත්, මාරු කළ සතාත් යන සතුන් දෙදෙනා ම ශුද්ධ බවට පත් වේ.

