ලෙවී 26:40-45

ලෙවී 26:40-45 SCV

“ ‘එහෙත්, ඔවුන් තමන්ගේ පාප ද තම පියවරුන්ගේ පාප ද කියා පෑවහොත්, මට එරෙහිව වූ ඔවුන්ගේ ද්‍රෝහිකමත්, මා වෙත වූ ඔවුන්ගේ එදිරිවාදිකමත් නිසා, ඔවුන්ගේ සතුරන්ගේ දේශයට ඔවුන් පලවා හරින්නට ඔවුන්ට එරෙහිව මගේ විරෝධය නැගුණේ ය. හදවතින් චර්මඡේද නො වූ ඔවුන් යටහත් ව, තම පාප පිළිගන්නේ නම්, මම යාකොබ් සමඟ කළ මගේ ගිවිසුම යළි සිහි කරන්නෙමි; ඊසාක් සමඟ කළ මගේ ගිවිසුම යළි සිහි කරන්නෙමි; ආබ්‍රහම් සමඟ කළ මගේ ගිවිසුම යළි සිහි කරන්නෙමි. මම දේශය ද යළි සිහි කරන්නෙමි. එහෙත් ඔවුන් නොමැතිව දේශය පාළු ව ඇති කාලයේ දේශය ඔවුන් විසින් අත්හරිනු ලැබ, එහි සබත් විශ්‍රාමය භුක්ති විඳිනු ඇත. මන්ද, ඔවුන් මගේ නියමයන් ප්‍රතික්ෂේප කොට, මගේ නියෝග පිළිකුල් කළ හෙයින් ඔවුන්ගේ පාප ගැන වන්දි ගෙවනු ඇත. එය එසේ වන නමුදු ඔවුන් තම සතුරන්ගේ දේශයේ වසන කල, ඔවුන් සමඟ ඇති මගේ ගිවිසුම බිඳලමින්, ඔවුන් සහමුලින් විනාශ කර දමන පිණිස ඔවුන් ප්‍රතික්ෂේප නො කරමි. පිළිකුල් නො කරමි. මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ය. එහෙත් මා ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන පිණිස ජාතීන්ගේ ඇස් හමුවෙහි මා විසින් ඊජිප්තුවෙන් පිටතට ගෙන ආ ඔවුන්ගේ ආදි පියවරුන් සමඟ වන ගිවිසුම මම ඔවුන් උදෙසා සිහි කරන්නෙමි. මම ස්වාමින්වහන්සේ යැ’ යි” පැවසූ සේක.