ලෙවී කථාව 26:40-45

ලෙවී කථාව 26:40-45 සිංහල කාලීන පරිවර්තනය (SCV)

“ ‘එහෙත්, ඔවුන් තමන්ගේ පාප ද තම පියවරුන්ගේ පාප ද කියා පෑවහොත්, මට එරෙහිව වූ ඔවුන්ගේ ද්‍රෝහිකමත්, මා වෙත වූ ඔවුන්ගේ එදිරිවාදිකමත් නිසා, ඔවුන්ගේ සතුරන්ගේ දේශයට ඔවුන් පලවා හරින්නට ඔවුන්ට එරෙහිව මගේ විරෝධය නැගුණේ ය. හදවතින් චර්මඡේද නො වූ ඔවුන් යටහත් ව, තම පාප පිළිගන්නේ නම්, මම යාකොබ් සමඟ කළ මගේ ගිවිසුම යළි සිහි කරන්නෙමි; ඊසාක් සමඟ කළ මගේ ගිවිසුම යළි සිහි කරන්නෙමි; ආබ්‍රහම් සමඟ කළ මගේ ගිවිසුම යළි සිහි කරන්නෙමි. මම දේශය ද යළි සිහි කරන්නෙමි. එහෙත් ඔවුන් නොමැතිව දේශය පාළු ව ඇති කාලයේ දේශය ඔවුන් විසින් අත්හරිනු ලැබ, එහි සබත් විශ්‍රාමය භුක්ති විඳිනු ඇත. මන්ද, ඔවුන් මගේ නියමයන් ප්‍රතික්ෂේප කොට, මගේ නියෝග පිළිකුල් කළ හෙයින් ඔවුන්ගේ පාප ගැන වන්දි ගෙවනු ඇත. එය එසේ වන නමුදු ඔවුන් තම සතුරන්ගේ දේශයේ වසන කල, ඔවුන් සමඟ ඇති මගේ ගිවිසුම බිඳලමින්, ඔවුන් සහමුලින් විනාශ කර දමන පිණිස ඔවුන් ප්‍රතික්ෂේප නො කරමි. පිළිකුල් නො කරමි. මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ය. එහෙත් මා ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන පිණිස ජාතීන්ගේ ඇස් හමුවෙහි මා විසින් ඊජිප්තුවෙන් පිටතට ගෙන ආ ඔවුන්ගේ ආදි පියවරුන් සමඟ වන ගිවිසුම මම ඔවුන් උදෙසා සිහි කරන්නෙමි. මම ස්වාමින්වහන්සේ යැ’ යි” පැවසූ සේක.

ලෙවී කථාව 26:40-45 Sinhala Revised Old Version (SROV)

එවිට ඔවුන් මට විරුද්ධව කළ ද්‍රෝහිකමෙන් වුණාවූ තමුන්ගේ අයුතුකමද, තමුන්ගේ පියවරුන්ගේ අයුතුකමද, ඔවුන් මට විරුද්ධව හැසුරුණු නිසා, මාත් ඔවුන්ට විරුද්ධව හැසිර ඔවුන්ගේ සතුරන්ගේ දේශයට ඔවුන් පැමිණෙවු බවද කියා දෙනවා ඇත. එකල්හිවත් ඔවුන්ගේ අචර්මඡේදිත සිත් යටහත්වී ඔව්හු තමුන්ගේ අයුතුකමේ දඬුවම පිළිගන්නෝ නම්, මම යාකොබ් සමඟ කළ මාගේ ගිවිසුම සිහිකරන්නෙමි; ඊසාක් සමඟ කළ මාගේ ගිවිසුමත් ආබ්‍රහම් සමඟ කළ මාගේ ගිවිසුමත් සිහිකරන්නෙමි; දේශයද සිහිකරන්නෙමි. දේශයද ඔවුන් නිසා පාළුව තිබෙන තෙක් ඔවුන් විසින් අත්හරිනු ලැබ එහි සබත් කාලවල් භුක්තිවිඳින්නීය; ඔව්හුද තමුන්ගේ අයුතුකමේ දඬුවම පිළිගන්නෝය. මක්නිසාදයත් ඔව්හු මාගේ විනිශ්චයයන් ප්‍රතික්ෂේපකොට තමුන්ගේ සිතින් මාගේ පනත් පිළිකුල්කළෝය. එසේවී නුමුත් ඔවුන් තමුන් සතුරන්ගේ දේශයෙහි සිටින කල ඔවුන් මුළුමනින් විනාශවන ලෙසද ඔවුන් සමඟ මාගේ ගිවිසුම කඩවන ලෙසද මම ඔවුන් එපා නොකරන්නෙමි, ඔවුන් පිළිකුල් නොකරන්නෙමි. මක්නිසාද මම ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය. ඔවුන්ගේ මුතුන් මුත්තන්ගේ දෙවියන්වහන්සේ වන පිණිස ජාතීන්ගේ ඇස් හමුවෙහි මිසර දේශයෙන් මා විසින් ගෙනෙන ලද්දාවූ ඒ තැනැත්තන් සමඟ කළ ගිවිසුම මම ඔවුන් උදෙසා සිහිකරන්නෙමි. මම ස්වාමීන්වහන්සේ යයි කීසේක.

ලෙවී කථාව 26:40-45 Sinhala New Revised Version (NRSV)

“එවිට ඔවුන් මට විරුද්ධ ව කළ ද්‍රෝහිකමෙන් වූ තමන්ගේ අයුතුකම් ද තම පියවරුන්ගේ අයුතුකම් ද ඔවුන් මට විරුද්ධ ව හැසිරීම ද පිළිගත්තත්, මම ඔවුන්ට විරුද්ධ ව ක්‍රියා කර ඔවුන්ගේ සතුරන්ගේ දේශයට ඔවුන් පමුණුවන්නෙමි. එකල්හි වත් ඔවුන්ගේ දරදඬු සිත් යටහත් වී ඔව්හු තමන්ගේ අයුතුකමේ දඬුවම පිළිගන්නෝ නම්, එවිට මම ජාකොබ් සමඟ කළ ගිවිසුම ද ඊසාක් සමඟ කළ ගිවිසුම ද ආබ්‍රහම් සමඟ කළ ගිවිසුම ද සිහි කරන්නෙමි; දීමට පොරොන්දු වූ දේශය ද සිහි කරන්නෙමි. සෙනඟ දේශය අත්හළ පසු, ජනශූන්‍ය ව තිබෙන හෙයින්, දේශයට සබත් විවේකය භුක්තිවිඳිය හැක. ඔවුන් මාගේ අණපණත් හෙළා දැක, මාගේ ව්‍යවස්ථාවන් පිළිකුල් කළ බැවින් ඔවුන් තමන්ගේ දුෂ්ටකමට ලැබූ දඬුවම පිළිගත යුතු ය. කෙසේ වුව ද, ඔවුන්ගේ සතුරන්ගේ රටවල සිටින විට ඔවුන් සහමුලින් ම වනසාලනු පිණිස ද මා සමඟ පිහිටුවාගත් ගිවිසුම කඩ කිරීමට මඟ නොපෑදෙන ලෙස ද මම ඔවුන් අත් නොහරිමි. මම ඔවුන් පිළිකුල් නොකරමි. ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි. එහෙත්, ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන පිණිස, විජාතීන් ඉදිරිපිට දී ම මිසර දේශයෙන් ඔවුන් පිටතට ගෙනා මම, ඔවුන්ගේ මුතුන්මිත්තන් සමඟ පිහිටුවාගත් ගිවිසුම සිහි කරන්නෙමි. මම සමිඳාණන් වහන්සේ ය.”

ලෙවී කථාව 26:40-45 Sinhala New Revised Version 2018 (SNRV)

“එවිට ඔවුන් මට විරුද්ධ ව කළ ද්‍රෝහිකමෙන් වූ තමන්ගේ අයුතුකම් ද තම පියවරුන්ගේ අයුතුකම් ද ඔවුන් මට විරුද්ධ ව හැසිරීම ද පිළිගත්තත්, මම ඔවුන්ට විරුද්ධ ව ක්‍රියා කර ඔවුන්ගේ සතුරන්ගේ දේශයට ඔවුන් පමුණුවන්නෙමි. එකල්හි වත් ඔවුන්ගේ දරදඬු සිත් යටහත් වී ඔව්හු තමන්ගේ අයුතුකමේ දඬුවම පිළිගන්නෝ නම්, එවිට මම ජාකොබ් සමඟ කළ ගිවිසුම ද ඊසාක් සමඟ කළ ගිවිසුම ද ආබ්‍රහම් සමඟ කළ ගිවිසුම ද සිහි කරන්නෙමි; දීමට පොරොන්දු වූ දේශය ද සිහි කරන්නෙමි. සෙනඟ දේශය අත්හළ පසු, ජනශූන්‍ය ව තිබෙන හෙයින්, දේශයට සබත් විවේකය භුක්තිවිඳිය හැක. ඔවුන් මාගේ අණපනත් හෙළා දැක, මාගේ ව්‍යවස්ථාවන් පිළිකුල් කළ බැවින් ඔවුන් තමන්ගේ දුෂ්ටකමට ලැබූ දඬුවම පිළිගත යුතු ය. කෙසේ වුව ද, ඔවුන්ගේ සතුරන්ගේ රටවල සිටින විට ඔවුන් සහමුලින් ම වනසාලනු පිණිස ද මා සමඟ පිහිටුවාගත් ගිවිසුම කඩ කිරීමට මඟ නොපෑදෙන ලෙස ද මම ඔවුන් අත් නොහරිමි. මම ඔවුන් පිළිකුල් නොකරමි. ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි. එහෙත්, ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන පිණිස, විජාතීන් ඉදිරිපිට දී ම මිසර දේශයෙන් ඔවුන් පිටතට ගෙනා මම, ඔවුන්ගේ මුතුන්මිත්තන් සමඟ පිහිටුවාගත් ගිවිසුම සිහි කරන්නෙමි. මම සමිඳාණන් වහන්සේ ය.”