“ ‘එහෙත් ඔබ මට සවන් නො දෙන්නේ නම් හා මේ සියලු ආඥා නො පිළිපදින්නේ නම්, මගේ නියෝග ප්‍රතික්ෂේප කර, මගේ නියමයන් පිළිකුල් කර, මගේ සියලු ආඥා පිළිපැදීම අතපසු කර, එපරිදි මගේ ගිවිසුම කඩ කරන්නේ නම්, මම ඔබට මෙසේ කරමි: ඔබේ ඇස් පෙනීම විනාශ කරන, ඔබේ සිරුර දිරා යවන හානිකර රෝග හා උණ රැගත් හදිසි භීතියක් මම ඔබ පිට එවන්නෙමි. ඔබ නිෂ්-ප්‍රයෝජනයේ බීජ වපුරනු ඇත. මන්ද ඔබේ සතුරන් ඒවා කා දමනු ඇත. මම මගේ මුහුණ ඔබට එරෙහිව හරවමි. ඔබේ සතුරන් විසින් ඔබ පරදවනු ඇත. ඔබට වෛර කරන්නන්, ඔබේ පාලකයින් වනු ඇත. කිසිවකු ඔබ පසු පස ලුහුබඳිනු නැතිවත්, ඔබ පලා දුවනු ඇත.
“ ‘මේ සියල්ල සිදු වූ පසු වුව ද, ඔබ මට සවන් නො දෙන්නේ නම්, මම ඔබේ පාපවලට හත් ගුණයකින් දඬුවම් කරන්නෙමි. ඔබගේ මුරණ්ඩු අහංකාරය මම බිඳලන්නෙමි. ඔබට ඉහළින් අහස යකඩ සේ ද ඔබට පහළින් පොළොව ලෝකඩ සේ ද දැඩි කරන්නෙමි. ඔබගේ ශක්තිය නිකරුණේ වැය වී යනු ඇත. මන්ද ඔබගේ භූමිය එහි අස්වැන්න උපදවා දෙන්නේ නැත; දේශයේ ගහ වැල ඒවායේ පලදාව නිපදවා දෙන්නේ ද නැත.
“ ‘ඔබ මට එරෙහිව සිටිමින්, මට සවන් දීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඔබේ පාපවලට හිමි පීඩා, හත් ගුණයකින් වැඩි කරන්නෙමි. මම ඔබට එරෙහිව, වන මෘගයින් එවන්නෙමි; උන් ඔබේ දරුවන් ඩැහැගෙන, ඔබේ ගවයින් වනසා, ඔබේ මං මාවත් පාළුවට යන තරමට ඔබේ ජනගහනය ද අල්පයක් කර දමනු ඇත.
“ ‘මේ සියල්ල නො තකා, මගේ දඬුවම මගින් මා වෙතට නො හැරී ඔබ මට විරුද්ධ ව ම සිටින්නේ නම්, මමත්, ඔබට විරුද්ධ ව සිටිමින්, ඔබේ පව්වලට හත් ගුණයකින් දඬුවම් කරන්නෙමි. ගිවිසුම කඩ කිරීමේ පළිය ගැනීමට මම යුද්ධයේ අසිපත නුඹ පිට එවන්නෙමි. නුඹලාගේ නගර තුළට නුඹලා පසුබැස්ස කල, මම නුඹලා අතරට වසංගතයක් එවන්නෙමි. නුඹලා සතුරු අත්වලට හසුකර දෙනු ලබන්නහු ය. ඔබගේ ආහාර සැපයුම මම කපා හරින්නෙමි. එවිට ස්ත්‍රීන් දහ දෙනෙක් එක උදුනක ඔබේ අහර පිසිමින් ඔබ එකිනෙකාට සොච්චමක් කිරා දෙනු ඇත. ඔබ අනුභව කරන නමුදු කුස ගිනි නො නිමෙනු ඇත.
“ ‘මේවා ද නො තකා, තවදුරටත් මට සවන් නො දී, දිගට ම මට එරෙහිව සිටියහොත්, මම කෝපයෙන් ඔබට එදිරි ව ඔබේ පව්වලට හත් ගුණයකින් ඔබට දඬුවම් කරන්නෙමි. ඔබ, ඔබේ පුතුන්ගේ මාංසත්, දූවරුන්ගේ මාංසත් කනු ඇත. මම ඔබේ උස් තැන් පුදසුන් විනාශ කරන්නෙමි. සුවඳ දුම් පුදසුන් බිඳ දමන්නෙමි. ඔබේ දේව පිළිම මළ කඳන් මත මම ඔබේ මළ කඳන් ගොඩ ගසන්නෙමි. මම ඔබ පිළිකුල් කරන්නෙමි. මම ඔබේ පුරවර ජරාවාස බවට හරවා, ඔබේ ශුද්ධස්ථාන නටඹුන් බවට පත් කරමි. ඔබේ පූජාවල මිහිරි සුවඳ මට ප්‍රමෝදයක් නො වන්නේ ය. ඔබේ දේශයේ පදිංචි වන ඔබේ සතුරන් විස්මපත් වන තරමට මම ඔබේ දේශය පාළු කර දමන්නෙමි. මම ජාතීන් අතරේ ඔබ විසුරුවා දමන්නෙමි. මම මගේ අසිපත ඇද, ඔබ ලුහුබඳින්නෙමි. ඔබේ දේශය පාළු වන්නේ ය. ඔබේ පුරවර නටඹුන් ව වැතිර සිටිනු ඇත. එසේ පාළුවට ඇරී තිබෙන කාලය මුළුල්ලේ දේශය, එහි සබත් අවුරුදු භුක්ති විඳිනු ඇත. ඔබ ඔබේ සතුරන්ගේ රටේ විප්‍රවාස ව ගත කරනු ඇත. එවිට දේශය විවේකය ලැබ, එහි සබත් භුක්ති විඳිනු ඇත. ඔබ දේශයේ විසූ සමයේ, සබත් අතර තුර දේශය නො ලද විවේකය, එය පාළුවට ඇරුණු කාලය මුළුල්ලේ ඊට ලැබෙනු ඇත.
“ ‘නුඹලාගෙන් තවමත් ජීවත් ව සිටිනවුනට සතුරු රටේදී, කොළයක් සුළඟට වැටෙන හඬින් පවා තැති ගෙන, පලා දුවන්නට සිදුවන තරමට ඔවුන්ගේ හදවත් මම භයට පත් කරමි. කිසිවකු විසින් ලුහුබඳිනු නැති විටෙක පවා, ඔවුහු යුද අසිපත වෙතින් පලා දුවන්නා සේ, දුව ගොස්, වැටෙන්නෝ ය. කිසිවකුදු ලුහුබඳිනු නැතිව යුද අසිපත වෙතින් පලා දුවන්නා සේ දුව යන ඔවුන් එකා පිට එකා වැටෙනු ඇත. මෙසේ නුඹලාගේ සතුරන් ඉදිරියේ නැගිට සිටගන්නට නුඹලාට හැකි නො වන්නේ ය. ජාතීන් අතරේ නුඹලා විනාශ වී යන්නහු ය. නුඹලාගේ සතුරන්ගේ දේශය විසින් නුඹලා කා දමනු ලබන්නහු ය. ඒ වන තුරුත් ජීවත් ව සිටින්නෝ තමන්ගේ පාප හා තම පියවරුන්ගේ පාප නිසා, ඔවුන් වෙසෙන සතුරු දේශ දේශයන්හි දී නැති නාස්ති වී යන්නෝ ය.
“ ‘එහෙත්, ඔවුන් තමන්ගේ පාප ද තම පියවරුන්ගේ පාප ද කියා පෑවහොත්, මට එරෙහිව වූ ඔවුන්ගේ ද්‍රෝහිකමත්, මා වෙත වූ ඔවුන්ගේ එදිරිවාදිකමත් නිසා, ඔවුන්ගේ සතුරන්ගේ දේශයට ඔවුන් පලවා හරින්නට ඔවුන්ට එරෙහිව මගේ විරෝධය නැගුණේ ය. හදවතින් චර්මඡේද නො වූ ඔවුන් යටහත් ව, තම පාප පිළිගන්නේ නම්, මම යාකොබ් සමඟ කළ මගේ ගිවිසුම යළි සිහි කරන්නෙමි; ඊසාක් සමඟ කළ මගේ ගිවිසුම යළි සිහි කරන්නෙමි; ආබ්‍රහම් සමඟ කළ මගේ ගිවිසුම යළි සිහි කරන්නෙමි. මම දේශය ද යළි සිහි කරන්නෙමි. එහෙත් ඔවුන් නොමැතිව දේශය පාළු ව ඇති කාලයේ දේශය ඔවුන් විසින් අත්හරිනු ලැබ, එහි සබත් විශ්‍රාමය භුක්ති විඳිනු ඇත. මන්ද, ඔවුන් මගේ නියමයන් ප්‍රතික්ෂේප කොට, මගේ නියෝග පිළිකුල් කළ හෙයින් ඔවුන්ගේ පාප ගැන වන්දි ගෙවනු ඇත. එය එසේ වන නමුදු ඔවුන් තම සතුරන්ගේ දේශයේ වසන කල, ඔවුන් සමඟ ඇති මගේ ගිවිසුම බිඳලමින්, ඔවුන් සහමුලින් විනාශ කර දමන පිණිස ඔවුන් ප්‍රතික්ෂේප නො කරමි. පිළිකුල් නො කරමි. මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ය. එහෙත් මා ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන පිණිස ජාතීන්ගේ ඇස් හමුවෙහි මා විසින් ඊජිප්තුවෙන් පිටතට ගෙන ආ ඔවුන්ගේ ආදි පියවරුන් සමඟ වන ගිවිසුම මම ඔවුන් උදෙසා සිහි කරන්නෙමි. මම ස්වාමින්වහන්සේ යැ’ යි” පැවසූ සේක.
ස්වාමින්වහන්සේ, සීනයි කන්දේදී තමන්වහන්සේ සහ ඉශ්‍රායෙල් ජනයා අතර මෝසෙස් මගින් පිහිටුවනු ලැබූ නියෝග, නියමයන් සහ නීති මේවා ය.