ලෙවී 23

23
වාර්ෂික මංගල්‍ය
1 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 2“ඉශ්‍රායෙල් ජනයා අමතා මෙසේ කියන්න: ‘ස්වාමින්වහන්සේගේ සම්මත මංගල්‍ය වශයෙන්, ශුද්ධ එක් රැස්වීම් ලෙස ප්‍රකාශයට පත් කළ යුතු මගේ සම්මත මංගල්‍ය මේවා ය.
සබත
3“ ‘වැඩ කරන්නට ඔබට හය දවසක් ඇත. එහෙත්, හත් වන දවස විවේක ගැනීමේ සබතකි; ශුද්ධ එක් රැස්වීමේ දවසකි. එදින ඔබ කිසි වැඩක් නො කළ යුතු ය. ඔබ කොතැනක විසුව ද, එදවස ස්වාමින්වහන්සේට සබතකි.
පාස්කු මංගල්‍යය හා මුහුන් නුමුසු රොටි මංගල්‍යය
4“ ‘නියමිත කාලයේදී ශුද්ධ එක් රැස්වීම් වශයෙන් ඔබ ප්‍රකාශයට පත් කළ යුතු ස්වාමින්වහන්සේගේ සම්මත මංගල්‍ය මේවා ය. 5ස්වාමින්වහන්සේගේ පාස්කුව ඇරඹෙන්නේ පළමු මස දහහතර වන දින සවස ය. 6එම මස පහළොස් වන දින ස්වාමින්වහන්සේගේ මුහුන් නුමුසු රොටි මංගල්‍යය ඇරඹේ. හත් දවසක් ඔබ මුහුන් නුමුසු රොටි අනුභව කළ යුතු ය. 7මුල් දවසේ ශුද්ධ එක් රැස්වීමක් පවත්වන්න. එදින, සුපුරුදු වැඩවල නො යෙදිය යුතු ය. 8දවස් හතක් ස්වාමින්වහන්සේට ගින්නෙන් යාග කරන පූජාවක් පිළිගන්වන්න. හත් වන දවසේ ද සුපුරුදු වැඩවල නො යෙදී, ශුද්ධ එක් රැස්වීමක් පවත්වන්නැ’ යි” පැවසූ සේක.
ප්‍රථම පල මංගල්‍යය
9 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්; 10“ඉශ්‍රායෙල් ජනයා අමතා, මෙසේ කියන්න: ‘මා ඔබට දෙන්නට යන දේශයට ඔබ ඇතුල් වී, එහි අස්වනු නෙළන කල, ඔබේ අස්වැන්නේ පළමු ගොයම් මිටිය පූජකයා වෙත ගෙන එන්න. 11ඔබ උදෙසා එය පිළිගැනෙනු පිණිස, පූජකයා එම ගොයම් මිටිය ස්වාමින්වහන්සේ ඉදිරියේ තේව කළ යුතු ය. පූජකයා එසේ තේව කළ යුත්තේ සබතට පසු දවසේ ය. 12ගොයම් මිටිය තේව කරන දවසේ ස්වාමින්වහන්සේට දවන යාග පූජාවක් වශයෙන් ඔබ, කැළැල් රහිත එක් අවුරුදු බැටළු පැටවකු පූජා කළ යුතු ය. 13ඒ සමඟ ස්වාමින්වහන්සේට මිහිරි සුවඳක් කොට, ගින්නෙන් පිදෙන තෙල් මිශ්‍ර සිහින් පිටි ඒෆාවකින් දහයෙන් දෙපංගුවක් වන එහි ධාන්‍ය පූජාව ද ඒ සමඟ එහි පාන පූජාව වන මිදි යුෂ හිනකින් හතරෙන් පංගුවක් ද පූජා කළ යුතු ය. 14මෙම ප්‍රථම පල පූජාව, ඔබේ දෙවියන්වහන්සේ වෙත ගෙනෙන දවස වන තෙක්, අලුත් අස්වැන්නේ ධාන්‍ය අමුවෙන් හෝ බැද හෝ රොටි වශයෙන් හෝ අනුභව නො කළ යුතු ය. ඔබ කොතැනක වාසය කළ ද, මතු පරම්පරාවලදීත් මෙය ඔබට සදාතනික නියෝගයකි.
සති මංගල්‍යය
15“ ‘තේව කිරීමේ පූජාවේ, ප්‍රථම-ගොයම් මිටිය ගෙන ආ දවස වන සබතට පසු දා සිට සම්පූර්ණ සති හතක් ගණන් කර ගන්න. 16මෙසේ හත් වන සබතට පසු දා දක්වා දින පනහක් ගැන, ස්වාමින්වහන්සේට අලුත් ධාන්‍ය පූජාවක් ඔප්පු කරන්න. 17ඔබ වාසය කරන කොතැනක සිට වුව ද මුහුන් මුසු සිහින් පිටි ඒෆාවකින් දහයෙන් දෙපංගුවක් ගෙන තැනූ රොටි දෙකක්, ස්වාමින්වහන්සේට ප්‍රථම පල තේව කිරීමේ පූජාවක් වශයෙන් ගෙන එන්න. 18මෙම රොටි සමඟ, කැළැල් රහිත, එක් අවුරුදු බැටළු පැටවුන් හත්දෙනකු ද ගොන් වස්සකු ද බැටළුවන් දෙදෙනකු ද පිළිගන්වන්න. අදාළ ධාන්‍ය පූජා හා පාන පූජා සමඟ පිදෙන මේවා ස්වාමින්වහන්සේට ප්‍රසන්න සුවඳක් කොට, ගින්නෙන් පිදෙන දවන යාග පූජාවක් වන්නේ ය. 19ඉන්පසු පාප පූජාවක් සඳහා එළු වස්සකු ද ශාන්ති පූජාවක් සඳහා එක් අවුරුදු බැටළු පැටවුන් දෙදෙනකු ද යාග කරන්න. 20පූජකයා, ප්‍රථම පල රොටි සමඟ බැටළු පැටවුන් දෙදෙනා ස්වාමින්වහන්සේ ඉදිරියේ තේව කිරීමේ පූජාවක් කොට තේව කළ යුතු ය. පූජකයා සඳහා ඒවා ස්වාමින්වහන්සේට ශුද්ධ ය. 21ඒ දවසේ ම ශුද්ධ එක් රැස්වීමක් ප්‍රකාශයට පත් කරන්න. සුපුරුදු වැඩවල ඔබ නො යෙදිය යුතු ය. ඔබ කොතැනක වාසය කළ ද, මතු පරම්පරාවලදීත් මෙය ඔබට සදාතනික නියෝගයකි.
22“ ‘ඔබේ දේශයේ අස්වනු නෙළන කල, කුඹුරේ අන්තිම කෙළවර දක්වා ම ගොයම නො කපන්න. අස්වනු නෙළූ පසු, මග හැරී ගිය කරල් නො ඇහිඳින්න. ඒවා දුප්පතුනට හා විදෙස්සනට ඉතිරි කරන්න. මම ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ යැ’ යි” පැවසූ සේක.
හොරණෑ මංගල්‍යය
23යළිත් ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 24“ඉශ්‍රායෙල් ජනයාට මෙසේ කියන්න: ‘හත් වන මස පළමු දින, විවේක දවසක් ද හොරණෑ නාදය සහිත ව සමරන ශුද්ධ එක් රැස්වීමක් ද පැවැත් විය යුතු ය. 25එදින, දවසේ වැඩ කටයුතුවල නො යෙදෙන්න. ස්වාමින්වහන්සේට ගින්නෙන් පිදෙන පූජාවක් පිළිගන්වන්නැ’ යි” පැවසූ සේක.
පාප වන්දි නිවාරණ දවස
26 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 27“මෙම හත් වන මස දහ වන දවස, පාප වන්දි නිවාරණ දවස ය. එදින ශුද්ධ එක් රැස්වීමක් පවත්වා, උපවාස ශීලයෙහි පැවත ස්වාමින්වහන්සේට ගින්නෙන් පිදෙන පූජාවක් ඔප්පු කරන්න. 28ඒ දවස තුළ ඔබ කිසි වැඩක් නො කළ යුතු ය. මන්ද, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඉදිරියේ ඔබ උදෙසා පාප වන්දි නිවාරණය සලසන පාප වන්දි නිවාරණ දවස එය බැවිනි. 29එදවසේ උපවාස ශීලය රක්ෂා නො කරන කවරකු වුව ද, තම ජනයා අතරින් සිඳ දැමිය යුතු ය. 30ඒ දවසේ වැඩ කරන කවුරුන් වුව ද, ඒ ජනතාව වෙතින් මම විනාශ කර දමන්නෙමි. 31ඒ දවසේ කවර හෝ වැඩක් නො කරන්න. ඔබ කොතැනක වාසය කළ ද, මතු පරම්පරාවලදී මෙය ඔබට සදාතනික නියෝගයකි. 32එය ඔබට විවේක ගැනීමේ සබතකි. ඔබ උපවාස ශීලයෙන් ගත කළ යුතු ය. එම මස නව වන දින සවස සිට පසු දින සවස දක්වා ඔබ, ඔබේ සබත පැවැත් විය යුතු යැ” යි පැවසූ සේක.
කූඩාරම් මංගල්‍යය
33 ස්වාමින්වහන්සේ යළි මෝසෙස් ඇමතූ සේක්, 34“ඉශ්‍රායෙල් ජනයා අමතා, මෙසේ කියන්න: ‘හත් වන මස පහළොස් වන දින ස්වාමින්වහන්සේගේ කූඩාරම් මංගල්‍යය ඇරඹේ; එය හත් දවසක් පැවැත් වේ. 35පළමු දවසේ ශුද්ධ එක් රැස්වීමකි. එදින, දවසේ වැඩ කටයුතුවල නො යෙදෙන්න. 36හත් දවසක් ස්වාමින්වහන්සේට ගින්නෙන් පිදෙන පූජා ඔප්පු කරන්න. අ‍ට වන දවසේ ශුද්ධ එක් රැස්වීමක් පවත්වා, ස්වාමින්වහන්සේට ගින්නෙන් පිදෙන පූජාවක් ඔප්පු කරන්න. එය උත්සව නිමාවේ එක් රැස්වීම බැවින්, එදින, දවසේ වැඩ කටයුතුවල නො යෙදෙන්න.
37“ ‘ස්වාමින්වහන්සේට ගින්නෙන් පුදන පූජා, එනම් දවන යාග පූජා හා ධාන්‍ය පූජා ද පඬුරු පූජා හා පාන පූජා ද යන වශයෙන් එක් එක් දවසට නියමිත පූජා ගෙනෙන පිණිස, ශුද්ධ එක් රැස්වීම් වශයෙන් ප්‍රකාශයට පත් කළ යුතු ස්වාමින්වහන්සේගේ සම්මත මංගල්‍ය ඒවා ය. 38මෙම පූජා, ස්වාමින්වහන්සේගේ සබත්වලට හා ඔබගේ තුටු-පඬුරු ද ඔබගේ සියලු ම බාර-හාර ද ඔබ ස්වාමින්වහන්සේට පුදන සියලු ස්වේච්ඡා පූජාවලට ද අමතර ඒවා ය.
39“ ‘මෙසේ ඔබ දේශයේ අස්වනු රැස් කර ගත් පසු, හත් වන මස පහළොස් වන දින පටන් ගෙන හත් දවසක් ස්වාමින්වහන්සේට උත්සව පවත්වන්න. උත්සවයේ පළමු දවස, විවේක දවසකි; එසේ ම අ‍ට වන දවස ද විවේක දවසකි. 40පළමු දවසේ ගස්වල හොඳ ම පල ද ඉඳි ගසේ ගොක් අතු ද කොළ අතු හා ගඟබඩ විලෝ ඉති ද ගෙන, ඔබ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඉදිරියේ හත් දවසක් ප්‍රීති ප්‍රමෝද විය යුතු ය. 41ස්වාමින්වහන්සේට මංගල්‍යයක් වශයෙන් හැම අවුරුද්දක ම හත් දවසක් මෙම උත්සවය පවත්වන්න. මතු පරම්පරා සඳහා ද මෙය ඔබට සදාතනික නියෝගයකි. හත් වන මස එය පවත්වන්න. 42හත් දවසක් පැල්වල වාසය කරන්න. ඉශ්‍රායෙල් ජාතික පුරවැසි සියල්ලෝ පැල්වල වාසය කළ යුතු ය. 43ඊජිප්තු දේශයෙන් පිටතට මා ඉශ්‍රායෙල් ජනයා ගෙන ආ කල, මා ඔවුනට පැල්වල වාසය කරන්නට සැලසූ වග ඔබගේ මතු දරු පරපුර එවිට දැනගන්නවා ඇත. ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම යැ’ ” යි පැවසූ සේක.
44මෙසේ මෝසෙස් ස්වාමින්වහන්සේගේ සම්මත මංගල්‍ය ඉශ්‍රායෙල් ජනයාට නිවේදන කළේ ය.

දැනට තෝරාගෙන ඇත:

ලෙවී 23: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න