යෝෂුවා 6

6
1මේ වන විට ඉශ්‍රායෙල් ජනයා නිසා, යෙරිකෝව තරයේ වසා දමන ලදී; කිසිවකු පිටතට ගියේවත්, ඇතුළට ආවේවත් නැත.
2එකල ස්වාමින්වහන්සේ යෝෂුවා අමතා, “ඔන්න! යෙරිකෝව, එහි රජු සමඟ එහි රණකාමී සෙබළුන් මම ඔබේ අතට දී ඇත්තෙමි. 3පුරවරය වට කරමින්, යුද්ධකාමී මිනිසුන් සියලු දෙනා සමඟ ඔබ පුරවරය වටා එක් වරක් පෙළපාලියෙන් ගමන් කළ යුතු ය. දවස් හයක් එසේ කළ යුතු ය. 4පූජකයින් හත් දෙනෙක් ගිවිසුම් කරඬුවට පෙරටුව බැටළු අං හොරණෑ හතක් රැගෙන, යා යුතු ය. හත්වෙනි දවසේ පුරවරය වටා හත් වරක් පෙළපාලියෙන් ගමන් කළ යුතු ය; පූජකයින් හොරණෑ පිඹිය යුතු ය. 5ඔවුන් බැටළු අං හොරණෑවෙන් දීර්ඝ ස්වරයෙන් හඬ නංවන කල, ඒ හොරණෑ නාදය ඔබට ඇසෙන කල මුළු ජනතාව මහ කෑගැසීමකින් කෑ ගැසිය යුතු ය; එවිට පුර පවුර බිමට සමතලාව ඇද වැටෙන්නේ ය. එවිට ජනයා හැම කෙනෙක් ම කෙළින් ම ඉදිරියට යන්නේ යැ” යි පැවසූ සේක.
6එබැවින් නූන්ගේ පුත් යෝෂුවා, පූජකයින් කැඳවා, ඔවුන් අමතමින්, “ගිවිසුම් කරඬුව ඔසවා ගන්න. බැටළු අං හොරණෑ හතක් ගත් පූජකයින් හත් දෙනෙක් ස්වාමින්වහන්සේගේ කරඬුව ඉදිරියෙන් යේවා” යි පැවසී ය. 7ඉන්පසු ඔහු ජනයා අමතමින්, “ඉදිරියට යන්න! පුරය වටා පෙළපාලියෙන් යන්න. ආයුධ සන්නද්ධ භට පිරිස, ස්වාමින්වහන්සේගේ කරඬුව ඉදිරියෙන් ගමන් කරත්වා!” යි පැවසී ය.
8යෝෂුවා ජනයාට අණ කර තිබූ පරිදි, ස්වාමින්වහන්සේ ඉදිරිපිට බැටළු අං හොරණෑ හත දැරූ පූජකයින් හත්දෙනා, හොරණෑ හඬවමින්, ඉදිරියට ගමන් කළේ ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව ඔවුන්ට පසුපසින් එද්දී ය. 9අවි දැරූ මිනිස්සු, හොරණෑ පිඹින පූජකයින්ට ඉදිරියෙන් ගමන් කළහ. පසු සේනාංකය, කරඬුව පසුපසින් ගමන් ගත්තේ එක දිගට ම හොරණෑ හැඬවෙද්දී ය. 10යෝෂුවා ජනයාට මෙසේ අණ දුන්නේ ය: “මා ඔබට කියන දවස දක්වා ඔබ ජය ඝෝෂා නො කළ යුතු ය. ඔබේ කටහඬ ඇසෙන්නට ඉඩ නො දිය යුතු ය; වචනයක්වත් නො පැවසිය යුතු ය. එහෙත්, ඝෝෂා කරන්නැයි මා ඔබට කිවූ විට, ජය ගොස නගනු” යනුවෙනි. 11මෙසේ ස්වාමින්වහන්සේගේ කරඬුව, පුරවරය වටා එක් වරක් ගෙන යන ලදී; ඉන්පසු ඔවුහු කඳවුරට අවුත්, කඳවුරේ රැය ගත කළහ.
12යෝෂුවා පසු දින උදයේ වේලාසනින් නැගිට්ටේ ය. පූජකවරු ස්වාමින්වහන්සේගේ කරඬුව ඔසවා ගත්හ. 13බැටළු අං හොරණෑ හත රැගත් පූජකයින් හත්දෙනා ස්වාමින්වහන්සේගේ කරඬුවට පෙරටුව ගමන් කළේ නො නැවත හොරණෑ පිඹිමිනි. ආයුධ දැරූ මිනිස්සු ඔවුන්ට ඉදිරියෙන් ගමන් කළහ. නො නැවත හොරණෑ හැඬවෙන අතරේ පසු සේනාංකය, ස්වාමින්වහන්සේගේ කරඬුව පසුපසින් ගමන් ගත්හ. 14ඔවුහු දෙවන දවසේ පුරවරය වටා පෙළපාලියෙන් වරක් ගමන් කොට, කඳවුරට හැරී ආහ. හය දවසක් ම ඔවුහු එසේ කළහ.
15හත් වන දවසේ අලුයම් උදයෙන් නැගිටුණු ඔවුහු ඒ අයුරින් ම පුරවරය වටා පෙළපාලියෙන් හත් වාරයක් ගමන් කළහ. ඒ දවසේ පමණක් ඔවුහු පුරවරය වටා හත් වාරයක් පෙළපාලියෙන් ගමන් කළහ. 16හත් වන වාරයේ පූජකයින් දීර්ඝ ස්වරයෙන් හොරණෑ හැඬ වූ කල, යෝෂුවා ජනයා අමතමින්, “ජය ගොස නගනු! මන්ද, ස්වාමින්වහන්සේ පුරවරය ඔබට දී තිබේ. 17පුරවරයත්, එහි ඇති සියල්ලත් ස්වාමින්වහන්සේ උදෙසා මුළුමනින් ම විනාශයට කැප ය. රාහාබ් වෙසඟන හා ඇය සමඟ නිවසේ සිටින ඇගේ නිවසේ සිටින අයට පමණක් ජීවත් විය හැක. මන්ද අප යැවූ පණිවුඩකරුවන් සැඟවූයේ ඇයයි. 18දැන් නුඹලා විනාශයට කැප දේවලින් ඈත් ව සිටිනු. විනාශයට කැප දේවලින් යමක් ගෙන ඉශ්‍රායෙල් කඳවුර විනාශයට භාජනය වන පිණිස, විපත්තිය ඒ පිටට නො ගෙනේවා. 19රිදී හා රන් ද ලෝකඩ හා යකඩ භාණ්ඩ ද යන සියල්ල ස්වාමින්වහන්සේට කැප ය. ඒවා උන්වහන්සේගේ ගබඩාවට යා යුතු යැ” යි පැවසී ය.
20මෙසේ ජනයා ඔල්වරසන් දුන්හ. හොරණෑ හඬ නංවන ලදී. හොරණෑ නාදය ඇසුණු විගස, ජනයා මහා ජය ඝෝෂාවක් නැගූහ. එවිට පුර පවුර බිමට සමතලාව බිඳ වැටිණි; එවිට ජනයා කෙළින් ම පුරවරයට වැද, එය අල්ලා ගත්හ. 21තවද ඔවුහු පුරවරය ස්වාමින්වහන්සේට කැප කරමින්, පුරුෂයින් හා ස්ත්‍රීන් ද ළමයින් හා වැඩිහිටියන් ද සමඟ ගවයින්, බැටළුවන් හා බූරුවන් ද යන සියල්ල කඩු ගා දැමූහ.
22දේශයේ ඔත්තු බැලූ මිනිසුන් දෙදෙනා ඇමතූ යෝෂුවා, “වෙසඟනගේ නිවසට යන්න. ඔබ ඇයට දිවුරූ පරිදි ඇයත්, ඇයට අයිති සියලු දෙනාත් පිටතට කැඳවන්නැ” යි කී ය. 23එබැවින් ඔත්තු බැලූ තරුණයෝ ඇතුල් ව, රාහාබ් ද ඇගේ පියා හා මව ද ඇගේ සහෝදරයන් ද ඇයට අයත් සියල්ලන් ද පිටතට කැඳවාගෙන ආහ. ඔවුහු ඇගේ පවුලට අයත් සියල්ලන් පිටතට ගෙනවුත්, ඉශ්‍රායෙල් කඳවුරින් පිටත ස්ථානයක රැඳවූහ.
24ඉන්පසු ඔවුහු පුරවරයත්, එහි වූ සියල්ලත් පුලුස්සා දැමූහ. එහෙත් රිදී හා රන් ද ලෝකඩ හා යකඩ භාජන ද පමණක් ස්වාමින්වහන්සේගේ ගෘහයේ භාණ්ඩාගාරයේ තැන්පත් කළහ. 25එහෙත් රාහාබ් වෙසඟන හා ඇගේ පියාගේ ගෘහ වාසීන් ඇතුළු ඇයට අයත් සියල්ලන් ද යෝෂුවා බේරා ඉතිරි කළේ ය. එසේ කළේ යෝෂුවා විසින් යෙරිකෝ පුරවරය ඔත්තු බැලීමට ඔත්තුකරුවන් යැවූ කල, රාහාබ් ඔවුන් සැඟැවූ නිසා ය. අද දක්වාත් ඈ, ඉශ්‍රායෙල්වරුන් අතරේ වාසය කරන්නී ය.
26එකල යෝෂුවා මේ දිවුරුම ප්‍රකාශ කළේ ය: “මේ යෙරිකෝ පුරවරය ගොඩ නැගීමට නැගී සිටින තැනැත්තා ස්වාමින්වහන්සේ ඉදිරියේ ශාප ලද්දෙක් වෙයි.
“ඔහු එහි අත්තිවාරම දමනු ඇත්තේ,
තමාගේ කුලුඳුලා බිලි දීමෙනි;
ඔහු එහි දොරටු සවි කරනු ඇත්තේ,
තමාගේ බාල පුත්‍රයා බිලි කිරීමෙනි.”
27එසේ ස්වාමින්වහන්සේ යෝෂුවා සමඟ වූ සේක. ඔහුගේ කීර්තිය දේශය පුරා පතළ විය.

දැනට තෝරාගෙන ඇත:

යෝෂුවා 6: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න