යෝෂුවා 5:1-12

යෝෂුවා 5:1-12 SCV

ඉශ්‍රායෙල් ජනයා උදෙසා ඔවුන් එතෙර වන තෙක් ස්වාමින්වහන්සේ යොර්දාන් ගඟ වියළූ අයුරු ඇසූ යොර්දානයට එහා බටහිරින් වූ අමෝරි රජුන් හැමගේ හා මුහුදුබඩ පෙදෙස්හි කානානි රජුන් හැමගේ සිත් දියවී, ඉශ්‍රායෙල්වරුන් නිසා කිසි ධෛර්යයක් ඔවුන් තුළ ඉතිරි නො වී ය. ඒ අවස්ථාවේ ස්වාමින්වහන්සේ යෝෂුවා අමතමින්, “ගිනි-ගල් පිහි සාදා, ඉශ්‍රායෙල් පුත්‍රයින් දෙවන වතාවටත් චර්මඡේද කරන්නැ” යි පැවසූ සේක. එබැවින් යෝෂුවා ගිනි-ගල් පිහි සාදා, ගිබෙයත්-හා-අරාලොත්හි දී ඉශ්‍රායෙල් පුත්‍රයින් චර්මඡේද කළේ ය. යෝෂුවා ඔවුන් චර්මඡේද කරන්නට හේතු වූයේ, ඊජිප්තුවෙන් පිටතට පැමිණි ජනයා අතරේ වූ සියලු පිරිමි, එනම් යුධ වයසේ පසු වූ සියලු මිනිස්සු, ඊජිප්තුව හැර ඒමෙන් පසු, පාළුකර ගමනේදී මිය ගිය බැවිනි. එසේ පිටත් ව පැමිණි සියලු ජනයා චර්මඡේද කරනු ලැබ සිටි නමුදු ඊජිප්තුවේ සිට පිටත් ව පැමිණි පසු පාළුකර ගමනේදී උපන් ජනයා සියල්ලන් චර්මඡේද කරනු ලැබ සිටියේ නැත. මන්ද ඊජිප්තුවෙන් නික්ම ආ මුළු ජනයා, එනම් යුධ වයසේ පසු වූ මිනිසුන් හැම දෙනා, ස්වාමින්වහන්සේගේ කටහඬට කීකරු නො වූ බැවින්, ඔවුන් වැනසී යන තෙක් ඉශ්‍රායෙල්වරු අවුරුදු හතළිහක් පාළුකරයේ ගමනේ යෙදුණහ. මන්ද කිරි හා පැණි ගලා යන දේශය වන, අපට දෙන ලෙස ඔවුන්ගේ පියවරුන්ට ස්වාමින්වහන්සේ දිවුරා තිබූ දේශය දකින්නට උන්වහන්සේ ඔවුන්ට ඉඩ දෙන්නේ නැත කියා ස්වාමින්වහන්සේ ඔවුන්ට දිවුරා තිබුණේ ය. එබැවින් ඔවුන්ගේ තැනට උන්වහන්සේ ඔවුන්ගේ පුතුන් පත් කළ සේක. යෝෂුවා විසින් චර්මඡේද කරන ලද්දේ ඔවුන් ව ය. එන ගමනේදී චර්මඡේද කරනු නො ලැබූ බැවින් ඔවුන් සිටියේ චර්ම-අඡේදිත ව ය. සමස්ත ජාතියේ ම චර්ම-ඡේදනයෙන් අනතුරුව ඔවුන් සුවය ලබන තුරු ඔවුහු කඳවුරේ ම තම තමන්ගේ ස්ථානවල නැවතී සිටියහ. ඉන්පසු යෝෂුවා ඇමතූ ස්වාමින්වහන්සේ, “අද දවසේ මම ඊජිප්තුවේ නින්දාව ඔබ වෙතින් ඉවත පෙරළා දැමුවෙමි” යි කී සේක. එබැවින් එම ස්ථානය අද දක්වා ගිල්ගාල් නමින් හැඳින්වෙයි. ඉශ්‍රායෙල් ජනයා ගිල්ගාල්හි කඳවුරු ගසා සිටියදී, මාසයේ දාහතර වන දවසේ සවස යෙරිකෝ තැනිතලාවේදී ඔවුහු පාස්කුව පැවැත් වූහ. පාස්කු දවසට පසු දවසේ, හරියට ම ඒ දවසේ, ඔවුහු දේශයේ පලදාවෙන් සෑදූ නුමුහුන් රොටි ද බැදපු ධාන්‍ය ද අනුභව කළහ. ඔවුන් දේශයේ පලදාව අනුභව කළ දවසට පසු දා ම, මන්නා නැවතිණි. තවදුරටත් ඉශ්‍රායෙල්වරුන්ට මන්නා ලැබුණේ නැත. එහෙත් ඔවුහු ඒ වසරේ කානාන්හි පලදාව අනුභව කළහ.

යෝෂුවා 5:1-12 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය