යෝෂුවා 22:1-9

යෝෂුවා 22:1-9 SCV

ඉන්පසු යෝෂුවා, රූබෙන්වරුන් ද ගාද්වරුන් ද මනස්සේ ගෝත්‍ර අර්ධය ද කැඳවා, ඔවුන් අමතමින්, “ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස් ඔබට අණ කළ සියල්ල ඔබ ඉටු කර ඇත. මා අණ කළ සියල්ලේදීත් ඔබ මගේ කටහඬට කීකරු වුණා. මේ දිගු කාලය, මේ අද දවස දක්වා ඔබ, ඔබේ සහෝදරයින් අත්හැර නො ගොස්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට පැවරූ කාරිය ඔබ ඉටු කර තිබේ. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔවුන්ට පොරොන්දු වූ පරිදි ඔබේ සහෝදරයින්ට දැන් විවේකය දී ඇති බැවින්, ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස් යොර්දානෙන් එතෙර ඔබට දුන් ඔබේ උරුමය වූ දේශයේ ඔබේ කූඩාරම්වලට හැරී යන්න. එහෙත් ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස් ඔබට ආඥා කළ ආඥාව හා ව්‍යවස්ථාව පවත්වන්නට තදින් හිතට ගන්න. එනම් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රේම කරන්නටත්, උන්වහන්සේගේ සියලු මාර්ගවල හැසිරෙන්නටත්, උන්වහන්සේගේ ආඥාවලට කීකරු වන්නටත්, උන්වහන්සේට බොහෝ ඇලුම් ව, ඔබේ මුළු හදින් ද ඔබේ මුළු ජීවයෙන් ද උන්වහන්සේට මෙහෙ කරන්නටත් යැ” යි කීවේ ය. ඉන්පසු යෝෂුවා ඔවුන්ට ආශිර්වාද කර, ඔවුන් පිටත් කර හැරියේ ය. ඔවුහු තම කූඩාරම් කරා ගියහ. තවද මනස්සේ ගෝත්‍ර එක් අර්ධයකට මෝසෙස්, බාෂාන්හි උරුමයක් දී තිබිණි. එහෙත් අනෙක් ගෝත්‍ර අර්ධයට ඔවුන්ගේ සහෝදරයන් අතරේ යොර්දානෙන් බටහිර ප්‍රදේශයෙන් යෝෂුවා උරුමයක් දුන්නේ ය. යෝෂුවා ඔවුන්ගේ නිවෙස් කරා ඔවුන් යවන කල, ඔවුන්ට ආශිර්වාද කරමින්, ඔහු පැවසුවේ, “මහත් ධන සම්භාරයත්, විශාල පශු සම්පතත්, රිදී, රත්රන්, ලෝකඩ හා යකඩත්, ඇඳුම් මහා තොගයත් ගෙන, ඔබේ කූඩාරම්වලට යන්න. ඔබේ සතුරන්ගෙන් ගත් කොල්ලය, ඔබේ නෑසියන් සමඟ බෙදා ගන්නැ” යි කියා ය. එබැවින් රූබෙන්වරු, ගාද්වරු හා මනස්සේ ගෝත්‍ර අර්ධය, ස්වාමින්වහන්සේ මෝසෙස් මගින් අණ කළ ලෙස, තමන් අත්කර ගත් තමන්ගේ දේශය වූ ගිලියාද් වෙත යන පිණිස, කානාන් දේශයේ ෂීලෝහි දී ඉශ්‍රායෙල්වරුන්ගෙන් සමුගෙන ආපසු ගෙදර ගියහ.

යෝෂුවා 22:1-9 සඳහා වීඩියෝව