යෝබ් 9

9
යෝබ්ගේ පිළිතුර
1එවිට යෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය:
2“සැබවින් ම, එය සත්‍යය වග මම දනිමි.
එහෙත් හුදු මිනිසකු දෙවියන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨ වන්නේ කෙසේ ද?
3උන්වහන්සේ සමඟ වාද කරන්නට යම් කෙනකු කැමති වුණත්,
අසනු ලබන දහසකින් එකකට හෝ උන්වහන්සේට උත්තර දීමට ඔහුට නුපුළුවන.
4උන්වහන්සේගේ ප්‍රඥාව ගැඹුරු ය; උන්වහන්සේගේ බලය අපරිමිත ය.
උන්වහන්සේට එරෙහිව සිට නිරුපද්‍රිත ව සිටින්නේ කවුරු ද?
5උන්වහන්සේ කඳු පහ කර දමන්නේ ඒවාට නො දන්වා ම ය;
තම කෝපයෙන් උන්වහන්සේ ඒවා පෙරළා දමන සේක.
6උන්වහන්සේ පොළොව පිහිටි ස්ථානයෙන් සොලවන සේක්,
පොළෝ කුලුනු දෙදරවන සේක.
7උන්වහන්සේ හිරුට කතා කළ විට එය එළිය නො දී සිටී;
උන්වහන්සේ රැයේ තරු මුද්‍රාකර තබන සේක.
8උන්වහන්සේ තනි ව අහස විහිදවන සේක්,
මුහුදු රළ පාගා දමන සේක.
9මහ වලහා ද මුව සිරස ද හත්දින්න ද යන තරු පංති හා
දක්ෂිණ තාරකා මණ්ඩලයේ මැවුම්කරුවාණෝ උන්වහන්සේ ය.
10සොයා දැනගත නො හැකි අරුම පුදුම සිදු කරන උන්වහන්සේ,
ගණන් නැති තරමේ හාස්කම් ද පානා සේක.
11මෙන්න, උන්වහන්සේ මා පසු කර යන සේක, මට උන්වහන්සේ පෙනෙන්නේ නැත;
උන්වහන්සේ අසලින් ම යන සේක, එහෙත් මට ඒ වග නො දැනේ.
12උන්වහන්සේ උදුරාගතහොත් උන්වහන්සේ නවතාලිය හැක්කේ කවරකුට ද?
‘ඔය මොනවද ඔබ කරන්නේ’ යි උන්වහන්සේගෙන් ඇසිය හැක්කේ කවරකුට ද?
13දෙවියන්වහන්සේ තම කෝපය නො වළක්වාගන්න සේක;
රහබ්ගේ පිරිස පවා උන්වහන්සේගේ පා ළඟ භයින් සිටී.
14“එසේ නම් කෙලෙස ද උන්වහන්සේට උත්තර දිය හැක්කේ?
කෙලෙස ද මා උන්වහන්සේ සමඟ වාදයට වචන සපයා ගන්නේ?
15මා නිර්දෝෂී වුවත් උන්වහන්සේට උත්තර දෙන්නට මට නුපුළුවන;
මට හැක්කේ දයාව ඉල්ලා මගේ විනිශ්චයකරුවාණන්ට ආයාචනා කිරීම ය.
16මා කැඳවුමක් කර, උන්වහන්සේ ඊට ප්‍රතිචාර දැක්වුවත්,
උන්වහන්සේ මට සවන් දෙතැයි මම විශ්වාස නො කරමි.
17කුණාටුවකින් උන්වහන්සේ මා පොඩිකර දමා,
අහේතුක ව වඩ වඩා මා තුවාල කරනු ඇත.
18උන්වහන්සේ හුස්ම ගන්නටවත් මට ඉඩ නො දී,
දුක්ඛ දොම්නස්සයෙන් මා පුරවාලනු ඇත.
19ශක්තිය පිළිබඳව ගතහොත්, උන්වහන්සේ පරාක්‍රමවත් ය;
යුක්තිය පිළිබඳව නම්, උන්වහන්සේ කැඳවීමට පුළුවන් කවරකුට ද?
20මා නිවැරදි වූවත්, මගේ මුව මා වරදට පත් කරනු ඇත;
මා නිර්දෝෂ වූවත්, මා වරදකරු වග උන්වහන්සේ පවසා සිටිනු ඇත.
21“මා නිදොස් වූවත්
මගේ ජීවිතය ගැන තැකීමක් මට නැත;
මම මගේ ජීවිතය පිළිකුල් කරමි.
22එහි වෙනසක් නැත, ‘උන්වහන්සේ නිර්දෝෂීන් මෙන් ම දුෂ්ටයින් ද
විනාශ කරන වග’ මා කියන්නේ එබැවිනි.
23විපත්තියකින් හදිසියේ ම මරණය සිදු වූ කල,
නිර්දෝෂිවූවන්ගේ බලාපොරොත්තු කඩවීම ගැන උන්වහන්සේ සිනාසෙන සේක.
24පොළොව දුෂ්ටයින් අතට දෙනු ලැබූ කල,
උන්වහන්සේ එහි විනිසුරුවන්ගේ ඇස් බැඳ දමන සේක;
උන්වහන්සේ නො වේ නම් ඒ අන් කවුරු ද?
25“මගේ ජීවිත දවස් ධාවකයකුටත් වඩා යුහුසුලු ය;
සුබ සේයාවකුදු නො දැක ඒවා ගෙවී යයි.
26ඒවා වේගයෙන් ඇදී යන, පන්වලින් තැනූ බෝට්ටු මෙන් හා
ගොදුරක් කරා එක එල්ලේ සැණෙක බැස එන රාජාලීන් මෙන් පහව යයි.
27‘මගේ පැමිණිල්ල මම අමතක කරමි;
මගේ මුහුණේ පෙනුම හා මගේ සිනාව මම වෙනස් කර ගන්නෙමැ’ යි මා කීවත්,
28මගේ සියලු විඳවීම් ගැන තවමත් මම බියෙන් සිටිමි;
මන්ද මා නිර්දෝෂ යයි ඔබ සලකන්නේ නැති වග මම දනිමි.
29මා වරදකරුවකු ව සිටින බැවින්,
නිකරුණේ කුමට වෙහෙස වන්නෙම් ද?
30මා හිම දියෙන් නා,
මගේ දෑත හොඳින් සෝදා ගත්තත්,
31මඩ වළෙහි ඔබ මා ඔබනු ඇත;
එවිට මගේ ඇඳුම්වලට පවා මා පිළිකුල් වනු ඇත.
32“මා විසින් උත්තර දෙන්නට හෝ විනිශ්චය ශාලාවේදී මුණගැහෙන්නට
උන්වහන්සේ මා වාගේ මනුෂ්‍යයකු නො වේ.
33අප දෙදෙනා පිට අත් තබා,
අප අතර සමථයක් ඇති කරන්නට බේරුම්කරුවකු ඇත්නම්!
34උන්වහන්සේගේ භීතිය තවත් මා භය නො ගන්වන පිණිස,
දෙවියන්වහන්සේගේ ඉපල මවෙතින් ඉවත් කරන කෙනකු ඇත්නම්!
35එවිට උන්වහන්සේ ගැන භයින් තොර ව කතා කරන්නට මට හැකි වෙයි.
එහෙත් දැනට ඇති ලෙසට එසේ කරන්නට මට නො හැක.

දැනට තෝරාගෙන ඇත:

යෝබ් 9: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න