යෝබ් 6

6
යෝබ්ගේ පිළිතුර
1යෝබ් පිළිතුරු දෙමින් මෙසේ පැවසී ය:
2“අහෝ මගේ ශෝකය කිරා බැලිය හැකි නම්;
මගේ මුළු දුක්ඛිතභාවය තරාදියක ලා බැලිය හැකි නම්!
3සත්තකින් ම ඒවා මුහුදු වැල්ලටත් වඩා බර වනු ඇත;
එනිසා මගේ වචන රළු විය.
4සර්ව පරාක්‍රමයාණන්ගේ ඊ ගස්වලට මා ඉලක්ක වී ඇත;
මගේ ආත්මය ඒවායේ විස බීගන්නේ ය.
දෙවියන්වහන්සේගේ භීතිය, මට එරෙහිව එක පෙළට ඇදී එයි.
5තණකොළ ඇති විට වල් කොටළුවා බෙරිහන් දේවි ද?
පිදුරු තිබේ නම් ගවයා තප්පුලන්නේ ද?
6නීරස අහරක් ලුණු නැතිව කෑ හැකි ද?
නැතහොත් බිත්තර සුදු මදේ කිසි රසක් ඇද්ද?
7ඒවාට අත තබන්නටවත් මට ඕනෑ නො වී ය;
එවැනි අහර මට අරුචි ය.
8“අහෝ මගේ ඉල්ලීම ඉටු වුණොත්,
මා අපේක්ෂා කළ දේ දෙවියන්වහන්සේ මට ලබා දුන්නහොත්!
9මා පොඩිකර දමන්නට දෙවියන්වහන්සේ කැමති වන සේක් නම්;
උන්වහන්සේ තම අත නිදහස් කොට මා සිඳ දමන සේක් නම්;
10එවිට ඒ සැනසිල්ල මට තියේ;
ශුද්ධ තැනැන්වහන්සේගේ වචනය මා ප්‍රතික්ෂේප නො කළ බැවින්,
වේදනා දරාගෙන, මම ප්‍රීතියෙන් ඉපිලෙන්නෙමි.
11“බලාපොරොත්තුවෙන් තවත් සිටින්නට මට ඇත්තේ කවර ශක්තියක් ද?
ඉවසා සිටින්නට මට ඇත්තේ කවර අපේක්ෂාවක් ද?
12ගලක් වගේ මා ශක්තිමත් ද?
මගේ මාංසය සෑදී ඇත්තේ ලෝකඩයෙන් ද?
13මෙයින් මිදෙන්නට මා තුළ යම් හැකියාවක් වේ ද?
සාර්ථකත්වය මවෙතින් දුරුව ගොසින් නො වේ ද?
14“තම මිතුරාගෙන් කරුණාවන්තකම වළක්වාගන්නා කවරකු නමුත්
සර්ව පරාක්‍රමයාණන්ට භයවීම ප්‍රතික්ෂේප කරයි.
15එහෙත් මගේ සහෝදරයින් කලින් කලට පමණක් දෙගොඩ තළා ගලන,
විශ්වාසය තැබිය නො හැකි, ඇළදොළ වැන්න.
16දියවෙන හිමෙන් අඳුරු ව,
දියවෙන හිම සමඟ ගලා යමින්,
17වියළි කාලයේ සිඳී යන,
තාපය වැඩි වූ කල අතුරුදහන් ව යන දිය පාර වැන්න.
18තම ගමන් මාර්ගයෙන් වෙනතක හැරෙන තවලම්කරුවෝ
ශූන්‍ය-භූමිය තෙක් ඇදී විනාශ වන්නෝ ය.
19තේමාහි තවලම්කරුවෝ වතුර කොහේදැයි සොයා බලති.
ෂෙබාහි සංචාරක වෙළෙන්දෝ බලාපොරොත්තුවෙන් සිටිති.
20ජලය වෙතැයි ඔවුන් වෙත වූ විශ්වාසය බිඳ වැටිණ.
එතැනට පැමිණි ඔවුනට සිදු වූයේ තූෂ්ණීම්භූත වන්නට ය.
21එසේ ම දැන් නුඹලාගෙන් ද පලක් නැති වග නුඹලා ම පෙන්වමින්,
මගේ විපත්තිය දකින නුඹලා භයපත් ව ඇත.
22කිසි දින මා ඔබෙන් ඉල්ලා තියේ ද, ‘අනේ මා වෙනුවෙන් යමක් දෙන්න,
ඔබේ ධනයෙන් මා උදෙසා අල්ලසක් දී,
23සතුරු අතින් මා මුදා ගන්න;
මේ නපුරන්ගේ ග්‍රහණයෙන් මා ගලවා ගන්නැ’ යි මා කියා තියේ ද?
24“මට කියා දෙන්න, එවිට මම නිශ්ශබ්ද ව සිටින්නම්;
මට වැරදී ඇත්තේ කොතැනදැයි පෙන්වා දෙන්න.
25අවංක වදන් කොතරම් වේදනාකාරී ද!
එහෙත් ඔබගේ තර්කවලින් කුමක් ඔප්පු කෙරේ ද?
26ඔබ අදහස් කළේ අපේක්ෂා භංග මිනිසකුගේ වචන
සුළං සේ හෑල්ලු කොට මා කී දෑ ගැන තරවටු කරන්න ද?
27පියා අහිමි අනාථ දරුවන්ට පවා ඔබ පස ඇට දමාවි;
ඔබේ මිතුරා වෙළඳ භාණ්ඩයක් ලෙස කේවල් කරාවි.
28“දැන් ඉතින් මා දිහා බලන්නට කැමති වන්න;
ඔබේ මුහුණ බලාගෙන මා බොරු කියන්නේ නැත.
29හැරී කල්පනා කර බලන්න; අයුක්තිය නවතන්න;
හැරී බලන්න; මගේ නිදොස්කම සැකයට භාජන වෙලා.
30මගේ දිවේ යම් නපුරක් තියේ ද?
මගේ තල්ලට රස ගුණ නො දැනේ ද?

දැනට තෝරාගෙන ඇත:

යෝබ් 6: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න