යෝබ් 5

5
1“කැමති නම්, හඬ ගසන්න; එහෙත් ඔබට උත්තර දෙන්නේ කවුරු ද?
ශුද්ධ තැනැත්තන්ගෙන් කවරකු වෙත ඔබ හැරෙන්නේ ද?
2නොමනාපයෙන් අඥානයා නැසී යයි;
ඊර්ෂ්‍යාව, මෝඩයා ඝාතනය කර දමයි.
3අඥානයා මුල් අදිනවා මම දැක ඇත්තෙමි;
එහෙත් හදිසියේ ම ඔහුගේ නිවසට ශාපය වැදුණි.
4රක්ෂාවරණය ඔහුගේ දරුවන්ගෙන් බොහෝ ඈත ය;
බේරා ගන්න කිසිවකුත් නොමැතිව, නඩු ශාලාවේදී ඔවුන් පොඩිකර දැමේ.
5කටු පඳුරු අතරින් වුව ද රැගෙන,
බඩගිනිවූවෝ ඔහුගේ අස්වැන්න කා දමති;
පිපාසිතයෝ ඔහුගේ වස්තුවට කෙළ හලති.
6මන්ද අපහසුතා, දූවිල්ලෙන් පැන නො නගී;
කරදර මහ පොළොවෙන් හට නො ගනී.
7ගිනි පුපුරු ඉහළ නගින්නා සේ,
මිනිසා ඉපිද ඇත්තේ දුක් විඳින්නට ය.
8“එහෙත් ඒ මම නම්, දෙවියන්වහන්සේට අභියාචනා කර,
මගේ දුක්-ගැනවිල්ල උන්වහන්සේ ඉදිරියේ තබමි.
9සොයා දැනගත නො හැකි ආශ්චර්යයන් සිදු කරන උන්වහන්සේ,
ගණන් කළ නො හැකි තරම් හාස්කම් පානා සේක.
10පොළොව පිටට වැසි වස්සන උන්වහන්සේ,
ගම් පළාත්වලට ජලය සපයා දෙන සේක.
11උන්වහන්සේ යටහතුන් උසස් කරන සේක;
ශෝක වන්නන් සුරක්ෂිත භාවයට ඔසවන සේක.
12කපටීන්ගේ උපා සඵල නො වන පිණිස
උන්වහන්සේ ඔවුන්ගේ සැලසුම් නිෂ්ඵල කරන සේක.
13ප්‍රඥාවන්තයින් ඔවුන්ගේ ම උපායවලින් හසුකර ගන්නා උන්වහන්සේ
එම ප්‍රයෝගකාරී උපක්‍රම සැණෙක නවතා දමන සේක.
14මහ දහවලේදී ඔවුන් පිට අන්ධකාරය පැමිණේ;
මද්දහනේදී ඔවුහු රෑ-අඳුරේ සිටින්නා සේ අතපත ගාමින් ඇවිදිති.
15අසිපත් වැනි ඔවුන්ගේ මුඛයෙන් දිළිඳුන් ගලවන උන්වහන්සේ
බලවතුන්ගේ ග්‍රහණයෙන් ඔවුන් මුදන සේක.
16එබැවින් දුප්පතුන්ට බලාපොරොත්තුවක් තිබේ;
අයුක්තිය කට පියාගන්නේ එබැවිනි.
17“මෙන්න! දෙවියන්වහන්සේ විසින් නිවැරදි කරනු ලබන මිනිසා භාග්‍යවත් ය;
එබැවින් සර්ව පරාක්‍රමයාණන්ගේ හික්මවීම සුළු කොට නො තකන්න.
18මන්ද තුවාල කරන්නේ උන්වහන්සේ ය; බෙහෙත් බඳින්නෙත් උන්වහන්සේ ය;
හානි කරන්නෙත් උන්වහන්සේ ය; ස්වකීය අත්වලින් සුව කරන්නෙත් උන්වහන්සේ ය.
19විපත්ති හයකින් උන්වහන්සේ ඔබ මුදනු ඇත;
විපත්ති හතකින් වුව ඔබට කිසි අවැඩක් වන්නේ නැත.
20සාගතයේදී මරණයෙන් ඔබ ගලවන උන්වහන්සේ
යුද්ධ සංග්‍රාමයේදී කඩුපතින් ද ඔබ ගලවනු ඇත.
21දිවෙන් ගසන වචනයේ කසයෙන් ඔබ ආරක්ෂා කෙරේ;
විනාශය එන කල ඔබ බිය නො වනු ඇත.
22විනාශයටත්, සාගතයටත් ඔබ සිනාසෙනු ඇත;
පොළොවේ මෘගයිනට බිය වීමට ඔබට සිදු නො වේ;
23කෙත් වත්හි ගල්-මුල් සමඟ ගිවිසුමක් ඔබට ඇත;
වන සීපාවුන් ද ඔබ හා සාමයෙන් සිටිනු ඇත.
24ඔබේ කූඩාරම සුරක්ෂිත වග ඔබ දැනගනු ඇත;
ඔබ සතු ගාල සොයා බැලූ කල කිසිවක් අහිමි වී නැති වග දැනගනු ඇත.
25බොහෝ දරුඵල ඔබට ලැබෙන වග ඔබ දැනගනී;
ඔබේ දරු මුනුපුරු පරපුර භූමියේ තණකොළ මෙන් ගහන වනු ඇත.
26පරමායුෂ විඳ සොහොන් ගැබට ඔබ පැමිණෙන්නේ,
කල් පිරුණු කල කැපූ ගොයම් මිටියක් සේ ය.
27“මේ කී දේ ඇත්තයි! අපි ඒවා සොයා බැලුවා.
එනිසා මේ අහන්න, ඒවා ඔබේ ම යහපත පිණිස දැනගන්න.”

දැනට තෝරාගෙන ඇත:

යෝබ් 5: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න