යෝබ් 41

41
1“බිලි කටුවකින් ලෙවියාතන් ගොඩට අදින්නට නුඹට පුළුවන් ද?
නැතහොත් කඹයකින් උගේ දිව බැඳ දමන්නට පුළුවන් ද?
2උගේ නාසය තුළින් ලණු පොටක් දමන්නට,
නැතහොත් කොක්කකින් උගේ හක්ක සිදුරු කරන්නට නුඹට පුළුවන් ද?
3ඌ නුඹෙන් බොහෝ සේ දයාව අයැදී ද?
නුඹ සමඟ මෘදු වචන තෙපලාවි ද?
4දිවි හිමියෙන් නුඹේ දාසයකු සේ බඳවා ගන්නැයි
ඌ නුඹ සමඟ ගිවිසුමකට එළැඹේ ද?
5කුරුල්ලකු සමඟ මෙන් නුඹ ඌ සමඟ සෙල්ලම් කරනවා ද?
නුඹේ යුවතියන්ගේ විනෝදයට රැහැනකින් ඌ බැඳ දෙනවා ද?
6ධීවර වෙළඳුන් ඌ ගැන කේවල් කරාවි ද?
ඔවුන් වෙළෙන්දන් අතරේ ඌ බෙදා දේවි ද?
7උගේ හම පුරා ඇවුළුම් බිලි කොකුවලින් සිදුරු කරන්නට හෝ
උගේ හිසට මසුන් කොටන හෙල්ලවලින් අනින්නට හෝ නුඹට පුළුවන් ද?
8ඔබ උගේ ඇඟට අත තිබ්බොත් කවර නම් සටනක්දැයි ඔබට සිහි වේවි;
තවත් ඔබ එසේ නො කරනු ඇත.
9ඌ පැරදවීමට බලාපොරොත්තුවීම පුස්සකි;
යමෙක් ඌ දුටු පමණින් ම දිරිය බිඳෙයි.
10ඌ අවුස්සන්නට හැකි තරම් රුදුරු කෙනෙක් නැත;
එසේ නම් මට එරෙහිව සිටගත හැක්කේ කවරකුට ද?
11මවිසින් ගෙවිය යුතු යයි මට එරෙහිව අයිතිය පාන්නේ කවුරු ද?
අහසින් යට ඇති හැම දේකම අයිතිය මගේ ය.
12“උගේ අවයව, උගේ ශක්තිය හා උගේ සුන්දර රූපකාය ගැන
කතා කරන්නට මම මැලි නො වෙමි.
13උගේ පිට කබාය ගැලවිය හැක්කේ කවරකුට ද?
උගේ සන්නාහ වැස්ම පසා කර ගෙන යන්නේ කවුරු ද?
14භයංකර දත්වලින් වට වූ උගේ මුඛයේ දොරටු
විවර කරන්නට හැකි සමතා කවුරු ද?
15උගේ පිට දිගට එක පෙළට තදින් මුද්‍රා තැබුවා සේ වූ
කොරපොතු-පලිහ පෙළකි.
16සුළං පොදකුදු ඒවා අස්සෙන් යා නො හැකි පරිද්දෙන්
ඒවා එකිනෙකට යාව පිහිටා ඇත.
17ඒවා එකක් අනෙකට දැඩි සේ බද්ධ ව,
වෙන් කළ නො හැකි සේ එකට ඇලී ඇත.
18උගේ කිඹුහුම්වලින් එළියක් විහිදෙයි;
උගේ ඇස් උදෑසන හිරු කිරණ වැන්න.
19උගේ මුවින් ගිනි පෙනෙලි නික්ම
ගිනි පුපුරු විහිද යයි.
20ඇවිළෙන බට දඬු ගින්නක් මත උතුරන හැලියකින් මෙන්,
උගේ නාස් පුඩුවලින් දුම් පිට වෙයි.
21උගේ හුස්මෙන් ගිනි අඟුරු ඇවිළේ;
උගේ කටින් ගිනි දැල් පැන නැගේ.
22ශක්තිය උගේ ගෙල මත ලැග සිටී;
භීතිය ඌට පෙරටුවෙන් යයි.
23උගේ මස් පිඬු එකට ගොනු වී ඇත;
ඒවා තද ය; නො සෙල්වී පිහිටා ඇත.
24උගේ සිත ගලක් මෙන් තද ය;
යට ඇඹරුම් ගලක් මෙන් තද ය.
25ඌ නැගිටින කල බලවත්හු බයට පත් වෙති.
ඌ කඩා පනින විට ඔවුහු පසුබා යති.
26ඌට වදින කඩු පහර නිෂ්ක්‍රීය වෙයි;
හෙල්ලය, උල් ආයුධය හෝ හීය පල නො දරයි.
27ඌ යකඩ සලකන්නේ පිදුරු ලෙසිනි;
ලෝකඩ ඌට දිරාගිය ලී වැන්න.
28හීය හමුවේ ඌ පලායන්නේ නැත;
ගල් පටි පහර ඌට පරඬලාවක් වැදුණා වැන්න.
29මුගුරක් වුව ඌ හමුවේ පිදුරු කැබැල්ලක් වැන්න;
ලංසය ලෙළවන විට ඌ ඊට සිනාසෙයි.
30දැති සහිත ව වළං කැබලි වැනි උගේ යටි-පැත්ත
දැති-පෝරු ගෑ ලෙස මඩේ සලකුණු තබා යයි.
31පෙණ දමන කල්දේරමක් සේ ඌ ගැඹුර කලතයි;
තෙල් සැලියක් සේ මුහුද කලඹවයි.
32ඌ ගිය මග දිළිසෙන දිය පාරක් තබයි;
ගැඹුරේ සුදු හිසකේ ඇතැයි කෙනකුට සිතේ.
33බය නැති මැවිල්ලක් වන ඌ හා සමාන
කිසිවක් මේ මිහි පිට නැත.
34අහංකාර සියල්ලන් දෙස ඌ හෙළා දකින බැලුම් හෙළයි;
උදාරම් සියල්ලන්ගේ රජ්ජුරුවෝ ඌ ය.”

දැනට තෝරාගෙන ඇත:

යෝබ් 41: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න