යෝබ් 41:12-34

යෝබ් 41:12-34 SCV

“උගේ අවයව, උගේ ශක්තිය හා උගේ සුන්දර රූපකාය ගැන කතා කරන්නට මම මැලි නො වෙමි. උගේ පිට කබාය ගැලවිය හැක්කේ කවරකුට ද? උගේ සන්නාහ වැස්ම පසා කර ගෙන යන්නේ කවුරු ද? භයංකර දත්වලින් වට වූ උගේ මුඛයේ දොරටු විවර කරන්නට හැකි සමතා කවුරු ද? උගේ පිට දිගට එක පෙළට තදින් මුද්‍රා තැබුවා සේ වූ කොරපොතු-පලිහ පෙළකි. සුළං පොදකුදු ඒවා අස්සෙන් යා නො හැකි පරිද්දෙන් ඒවා එකිනෙකට යාව පිහිටා ඇත. ඒවා එකක් අනෙකට දැඩි සේ බද්ධ ව, වෙන් කළ නො හැකි සේ එකට ඇලී ඇත. උගේ කිඹුහුම්වලින් එළියක් විහිදෙයි; උගේ ඇස් උදෑසන හිරු කිරණ වැන්න. උගේ මුවින් ගිනි පෙනෙලි නික්ම ගිනි පුපුරු විහිද යයි. ඇවිළෙන බට දඬු ගින්නක් මත උතුරන හැලියකින් මෙන්, උගේ නාස් පුඩුවලින් දුම් පිට වෙයි. උගේ හුස්මෙන් ගිනි අඟුරු ඇවිළේ; උගේ කටින් ගිනි දැල් පැන නැගේ. ශක්තිය උගේ ගෙල මත ලැග සිටී; භීතිය ඌට පෙරටුවෙන් යයි. උගේ මස් පිඬු එකට ගොනු වී ඇත; ඒවා තද ය; නො සෙල්වී පිහිටා ඇත. උගේ සිත ගලක් මෙන් තද ය; යට ඇඹරුම් ගලක් මෙන් තද ය. ඌ නැගිටින කල බලවත්හු බයට පත් වෙති. ඌ කඩා පනින විට ඔවුහු පසුබා යති. ඌට වදින කඩු පහර නිෂ්ක්‍රීය වෙයි; හෙල්ලය, උල් ආයුධය හෝ හීය පල නො දරයි. ඌ යකඩ සලකන්නේ පිදුරු ලෙසිනි; ලෝකඩ ඌට දිරාගිය ලී වැන්න. හීය හමුවේ ඌ පලායන්නේ නැත; ගල් පටි පහර ඌට පරඬලාවක් වැදුණා වැන්න. මුගුරක් වුව ඌ හමුවේ පිදුරු කැබැල්ලක් වැන්න; ලංසය ලෙළවන විට ඌ ඊට සිනාසෙයි. දැති සහිත ව වළං කැබලි වැනි උගේ යටි-පැත්ත දැති-පෝරු ගෑ ලෙස මඩේ සලකුණු තබා යයි. පෙණ දමන කල්දේරමක් සේ ඌ ගැඹුර කලතයි; තෙල් සැලියක් සේ මුහුද කලඹවයි. ඌ ගිය මග දිළිසෙන දිය පාරක් තබයි; ගැඹුරේ සුදු හිසකේ ඇතැයි කෙනකුට සිතේ. බය නැති මැවිල්ලක් වන ඌ හා සමාන කිසිවක් මේ මිහි පිට නැත. අහංකාර සියල්ලන් දෙස ඌ හෙළා දකින බැලුම් හෙළයි; උදාරම් සියල්ලන්ගේ රජ්ජුරුවෝ ඌ ය.”