යෝබ් 40:3-24

යෝබ් 40:3-24 SCV

එවිට යෝබ් ස්වාමින්වහන්සේට පිළිතුරු දෙමින්, “අහෝ මම නො වටින්නෙක්මි; මම කෙසේ ඔබට උත්තර දෙන්නෙම් ද? මම මගේ අතින් මගේ කට වසා ගනිමි. එක් වරක් මම කතා කළෙමි; පිළිතුරු නො දෙමි. මම දෙවරක් කතා කළෙමි. ඉන්පසු කතා නො කරමි” යි පැවසී ය. එවිට ස්වාමින්වහන්සේ කුණාටුවේ සිට යෝබ්ට උත්තර දෙමින් මෙසේ පැවසූ සේක: “පිරිමියකු සේ ඔබේ ඉඟටිය බැඳ ගන්න. මම ඔබෙන් ප්‍රශ්න කරන්නෙමි; ඔබ මට උත්තර දිය යුතුයි. “නුඹ මගේ යුක්තිය වැරදියයි තීරණය කරනවා ද? නුඹ ම, නුඹ නිවැරදි යයි කියා ගනිමින් වරද මා පිට පටවනවා ද? දෙවියන්වහන්සේගේ වැනි බාහුවක් ඔබට තියේ ද? නුඹේ කටහඬින් උන්වහන්සේ වාගේ ගර්ජනා කරන්නට නුඹට පුළුවන් ද? පුළුවන් නම්, තේජශ්‍රීයෙන් හා ශෝභාශ්‍රීයෙන් සැරසී, ගෞරවය හා ශ්‍රී විභූතිය පැලඳ ගන්න. නුඹේ උදහසේ ක්‍රෝධය වගුරවමින්, උඩඟු හැම මිනිසකු දෙස බලා, ඔවුන් පහතට ඇද දමන්න. උඩඟු හැම මිනිසකු දෙස ම බලා, ඔවුන්ගේ ඔද බිඳින්න. දුෂ්ටයින් ඔවුන් සිටිනා තැන්හි දී ම පාගා දමන්න. ඔවුන් හැම ධූලියෙහි එකට වළලා, ඔවුන්ගේ මුහුණු මිනී වළෙහි වසා දමන්න; අන්න එවිට නුඹේ ම දකුණත නුඹ ගලවන්නට සමත් වග දැන මමත් නුඹ පසසන්නෙමි. “බලන්න! බෙහේමොත් දිහා; මා නුඹ සෑදූ පරිදි ම ඌත් සෑදීමි; ඌ ගවයකු සේ තණ කයි. බලන්න! උගේ තුනටිය පෙදෙසේ ඇති ශක්තිය කොතෙක් ද! උගේ බඩේ මස්ගොබවල ඇති ප්‍රබලත්වය! උගේ වලිගය දේවදාර ගසක් සේ නැමේ; උගේ කලවා නහර එකට, බැම්මට ගෙතී ඇත. උගේ ඇටකටු ලෝකඩ නළ වෙයි. උගේ ගාත් යකඩ කූරු වැන්න. දෙවියන්වහන්සේගේ වැඩ අතරේ ඌ පළමු තැන ගනී; එහෙත් උගේ මැවුම්කරුවාණන්ට තම අසිපත ඇති ව ඌට ළං විය හැකි ය. ඌට අහර සැපයෙන්නේ වන සතුන් සෙල්ලම් කරන කඳුකරයෙනි. ඌ ලගින්නේ වගුරුවල බට පඳුරු අතරේ, නෙළුම් ගස් යට ය. නෙළුම් ගස් සිය සෙවණේ ඌ සඟවා ගනී; දිය දහරේ පොප්ලර් ගස් ඌ වටකර ගනී. ගංගාව වියරුව දෙගොඩ තළා ගියත් ඌ බය නො වේ; යොර්දාන් නදිය උගේ කටට නාසයට උඩින් ගැලුවත් ඌ සුරක්ෂිත ය. උගේ ඇස්වලින් යමකුට ඌ අල්ලා ගත හැකි ද? ඌට උගුලක් අටවන්නට හෝ උගේ නාසය සිදුරු කරන්නට හැකි වේ ද?

මෙයට අදාළ වීඩියෝ

යෝබ් 40:3-24 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය