යෝබ් 39
39
1“ඔබ දන්නවා ද කඳුකර-එළිච්චියන් පැටව් ගසන කාලය?
ඔබ බලා හිඳ තියෙනවා ද මුව දෙනුන් ප්‍රසූත කරන අයුරු?
2ඔබ ගණන් කර තියෙනවා ද උන් ගැබ් දරා සිටින මාස ගණන?
ඔබ දන්නවා ද උන් පැටවුන් බිහි කරන්නේ කොයි වෙලාවේ ද කියා?
3උන් නැඹුරු වී තම පැටවුන් ප්‍රසූත කර,
ප්‍රසව වේදනාව නිම කරන කාලය ගැන?
4උන්ගේ පැටවුන් වනයේ වැඩෙන්නේ ශක්තිමත් ව ය.
පසුව, පිටත් ව යන උන් ආපසු එන්නේ නැත.
5“නිදහසේ යන්නට කැලෑ බූරුවාට ඉඩ හැරියේ කවුරු ද?
ඌ බැඳි ලණුව ලිහා දැම්මේ කවුරු ද?
6මම පාළුකරය ඌට නිවස වශයෙන් ද
ලුණු භූමිය උගේ වාසස්ථානය ලෙස ද දුනිමි.
7නගරයේ ඝෝෂාවට ඌ අවඥාවෙන් සිනාසෙයි;
දක්කන්නාගේ ගෝරනාඩුවට ඌ සවන් දෙන්නේ නැත.
8කවර හෝ හරිත පැළෑටි සොයමින්
ඌ කඳුකරය ම තම ගොදුරුබිම සේ සලකා එහි නිදැල්ලේ යයි.
9“කුළු හරකා ඔබට වැඩ කර දෙන්නට කැමති වේ ද?
රාත්‍රියට ඌ ඔබේ ගව මඩුවේ සිටීවි ද?
10ලණුවකින් බැඳ, හීවිට ඔස්සේ රඳවා ගත හැකි වේ ද?
ඔබට පිටුපසින් ඌ වගා-බිම පෝරු ගාවි ද?
11උගේ මහත් ශක්තිය නිසා ඔබ ඌ පිට විශ්වාසය තබා,
ඔබේ බර වැඩ ඌට භාර දෙනවා ද?
12ඔබගේ ධාන්‍ය අස්වැන්න ගෙනවුත්,
ඌ ඒවා කමතට එක් රැස් කර දෙතැයි ඔබට විශ්වාස ද?
13“පැස්බරාගේ අත්තටු ප්‍රමෝදයෙන් සැලෙයි.
එහෙත් ඒවා කරුණාවන්තකමේ#39:13 හෙබ්‍රෙව් අර්ථය පැහැදිලි නැත. පියාපත් හා පිහාටු වේ ද?
14ඇය භූමිය පිට බිජු ලා,
ඒවා වැල්ලේ උණුහුම් වීමට හරියි;
15පයට පෑගී ඒවා තැළී යා හැකි වග හා
වන සතුන්ට ඒවා පෑගී පොඩිවන වග ගැන ඌට තැකීමක් නැත.
16ඌ තම පැටවුන්ට තද පරුෂව සලකන්නේ උන් තම පැටවුන් නො වන්නා සේ ය;
උගේ මහන්සිය පල රහිත වුව ද ඌ එය ගණන් ගන්නේ නැත.
17මන්ද දෙවියන්වහන්සේ ඌට ප්‍රඥාව පවරා දී නැත.
සාමාන්‍ය වැටහීමේ කොටසක් වෙන් කර දී නැත.
18එහෙත් ඌ දුවන්නට තම අත්තටු විදහාගත් කල,
ඌ අශ්වයාටත්, අසරුවාටත් සිනාසෙයි.
19“ඔබ, අශ්වයාට උගේ ශක්තිය දෙනවා ද?
එල්ලා වැටෙන කේශරවලින් ඔබ උගේ ගෙල සැරසුවා ද?
20උඩඟු ලෙස හේෂාරවයෙන්, බිය වද්දමින්,
පළඟැටියකු සේ පැන පැන යන්නට ඔබ ඌ පුහුණු කළා ද?
21ඌ තම ශක්තියෙහි ප්‍රීතිමත් වෙමින්, කුර ගසා, බිම පහුරු ගා,
සංග්‍රාමය ඉදිරියට වේගයෙන් දුවයි.
22ඌ බයට සරදම් සිනා පා, කිසිවකටත් තැති නො ගනී;
ඌ කඩුපත හමුවේ අහකට පැන නො යයි.
23දිස්නය දෙන හෙල්ලය හා ලංසය ද සමඟ
හී කොපුව උගේ ඇඟේ වැදි වැදී සට සට හඬ නගයි.
24උද්වේගයෙන් මුසපත් ව ඌ ජව වේගයෙන් දුවයි;
යුද්ධ හොරණෑව හැඬවෙන කල ඌට එක තැන නැවතී සිටිය නො හැක;
25හොරණෑ නාදය හැඬවෙන වතාවක් ගානේ ඌ ‘අහා!’ යි හේෂාරවය කරයි.
සටන් බිමේ අණ දෙන්නාගේ විධාන හඬ මැද්දේ
රණ බිමේ ඝෝෂාව ඌ ඈත සිට ඉවෙන් දැනගනී.
26“උකුස්සා ඉහළට පියාසර කර,
දකුණු දෙසට තම පියාපත් විහිදන්නේ ඔබගේ ප්‍රඥාවෙන් ද?
27රාජාලියා අහසට නැගෙන්නේ,
ඉතා ඉහළ තැන්හි උගේ කූඩු තනන්නේ ඔබේ ආඥාවෙන් ද?
28ඌ උස් පර්වතවල වාසය කරමින් රාත්‍රිය එහි ලගියි;
ගිරිතර පර්වත කූට උගේ බළකොටුවයි.
29එහි සිට ඌ ගොදුරකට යමක් විපරමින් බලන්නේ,
දුර ඈතදීම එය තම ඇසට හසුකර ගනියි.
30උගේ පැටවුන් ලේ උරා බොති;
මරා දමනු ලැබූවෝ කොතැන ද උන් ද එතැන්හි ම ය.”
දැනට තෝරාගෙන ඇත:
යෝබ් 39: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.