යෝබ් 32

32
එලීහු
1එවිට මේ මිනිසුන් තිදෙන යෝබ්ට පිළිතුරු දීම නැවැත්වූහ; මන්ද ඔහු තමාගේ ම මතයට අනුව ධර්මිෂ්ඨ වූ බැවිනි. 2එවිට රාම් පෙළපතේ බූස්හි බරකෙල්ගේ පුත්‍ර එලීහු කෝපයෙන් ඇවුළුණේ ය. ඔහුගේ කෝපය යෝබ් කෙරේ ඇවුළුණේ යෝබ් දෙවියන්වහන්සේට වඩා, තමා ධර්මිෂ්ඨ කර ගත් බැවිනි. 3ඔහුගේ කෝපය මිතුරන් තිදෙනාට එරෙහිව ද ඇවුළුණේ ය. ඒ, ඔවුන් යෝබ් වරදකරු බවට පත් කළත්, ඔහුට දිය හැකි පිළිතුරක් ඔවුනට සොයාගත නො හැකි වූ බැවිනි. 4එලීහු යෝබ්ට පිළිතුරු නො දී බලා සිටියේ සෙසු අය ඔහුට වඩා වැඩිමල් වූ නිසා ය. 5එහෙත් ඒ මිනිසුන් තිදෙනාට තවත් කියන්නට දෙයක් නැති වග ඔහුට පෙනී ගිය කල ඔහුගේ කෝපය ඇවිස්සුණේ ය.
6එවිට බූස්හි බරකෙල්ගේ පුත්‍ර එලීහු මෙසේ පවසන්නට වන්නේ ය:
“මා වයසින් බාල ය,
නුඹලා වැඩිමහල් ය;
මා දන්නා දෑ ඔබට කීමට බය ව,
මා පසුබා සිටියේ එබැවිනි.
7‘වැඩිහිටියන් කතා කළ යුතු ය;
වියපත් ඇත්තන් ප්‍රඥාව ඉගැන්විය යුතු ය’ කියා මම සිතුවෙමි.
8එහෙත් මිනිසා තුළ වන ආත්මයාණන්,
සර්ව පරාක්‍රමයාණන්ගේ හුස්ම ඔවුනට අවබෝධය දෙන්නේ ය.
9ප්‍රඥාවත් වන්නේ වැඩිමහලු අය පමණක් ම නො වේ;
හරි දෑ ගැන අවබෝධය ඇත්තේ වැඩිහිටියන් වෙත පමණක් ම නො වේ.
10“එබැවින් මා කියන්නේ, මට සවන් දෙන්න;
මා දන්නා දේ මමත් ඔබට කියන්නෙමි.
11බලන්න! ඔබ කතා කරන අතරේ
මා බලා සිටියේ, කිව යුතු වචන කවරේදැයි සොයමින් කළ
ඔබගේ තර්ක විතර්කවලට සවන් දී ගෙන ය.
12මා සිටියේ සම්පූර්ණ අවධානය යොමා ගෙන ය;
එහෙත් නුඹලාගෙන් එක් කෙනකුවත් යෝබ් වැරදි වග ඔප්පු කළේ නැත;
එක් කෙනකුවත් ඔහුගේ තර්කවලට නිසි පිළිතුරු දුන්නේ නැත.
13‘අපට ප්‍රඥාව සම්භ වුණා;
මිනිසා නො ව දෙවියන්වහන්සේ ම ඔහුගේ වරද ඔප්පු කරත්වා’ යි නො කියාවා.
14යෝබ් මට එරෙහිව තමාගේ වචන හැසිරවූයේ නැත;
නුඹලාගේ තර්කවලින් ඔහුට මා උත්තර දෙන්නට යන්නේ ද නැත.
15“ඔවුන් චංචල වී ඇත; දෙන්නට පිළිතුරක් ඔවුනට නැත;
පවසන්නට ඔවුනට වචන නැත.
16ඔවුන් දැන් කතා නැතිව නිහඬ ව සිටින බැවින්,
පිළිතුරක් නො දී ඔහේ සිටගෙන සිටින බැවින්, මාත් කට පියා බලා සිටිය යුතු ද?
17කියන්නට දේ මටත් තියේ;
මා දන්නා දේ මමත් කියමි;
18වචනවලින් මා පිරී සිටින බැවින්,
ඒ වචන පිටකරන්නට මා තුළ ඇති ආත්මය මට බල කරයි.
19මෙන්න! මගේ ඇතුළු සිත සැර පිට නො වන සේ වැසූ මිදි යුෂ අසුරනයක් වැන්න;
මිදි යුෂ සැරට පිපිරෙන්නට ළං වූ අලුත් සම් බඳුනක් වැන්න.
20තත්වය සමනය කර ගන්නට මා කතා කළ යුතු ය;
මගේ මුව විවර කර මා පිළිතුරු දිය යුතු ය.
21කිසිවකුටත් මම පක්ෂග්‍රාහී නො වෙමි;
කිසිවකුවත් බොරු වර්ණනාවට ලක් නො කරන්නෙමි.
22මන්ද චාටු කතාවට මා දක්ෂයකු වී නම්,
මගේ මැවුම්කරුවාණන් වහාම මා ලොවින් තුරන් කරනු ඇත.

දැනට තෝරාගෙන ඇත:

යෝබ් 32: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න