යෝබ් 23
23
යෝබ් යළිත්
1එවිට යෝබ් පිළිතුරු දෙමින් මෙසේ පැවසී ය:
2“අදටත් මගේ මැසිවිල්ල දුක්ඛදායක ය;
මගේ කෙඳිරිගෑම නො සලකා, උන්වහන්සේගේ අත මා පිට බර වී ඇත.
3අහෝ උන්වහන්සේ හමු විය හැක්කේ කොතැනකදී ද යන්නවත් මා දැන සිටියා නම්!
උන්වහන්සේගේ වාස භවන වෙත මට යා හැකි නම්!
4උන්වහන්සේ ඉදිරියේ මගේ නඩුව දිග හරින්නෙමි;
මගේ මුව පුරා තර්ක විතර්ක ගෙන හැර පාන්නෙමි.
5උන්වහන්සේගේ පිළිතුර කවරක් වේ දැයි මම දැන ගන්නෙමි;
උන්වහන්සේ පවසන දේ තේරුම් ගන්නෙමි.
6උන්වහන්සේ තම බලයේ මහත්කමින් මට විරුද්ධකම් පාවි ද?
නැත; උන්වහන්සේ මා වෙත අවධානය යොමනු ඇත.
7එහිදී අවංක මිනිසකුට තමාගේ නඩුව උන්වහන්සේ හමුවේ ඉදිරිපත් කරන්නට පුළුවන;
මගේ විනිශ්චයකරුවාණන්ගෙන් එවිට මම සදහට ම මුදනු ලබන්නෙමි.
8“මෙන්න! මා නැගෙනහිරට ගියොත්, උන්වහන්සේ එහි නැත;
මා බටහිරට ගියත්, එහිදීත් උන්වහන්සේ හමු විය හැකි නො වේ.
9උන්වහන්සේ උතුරෙහි වැඩක යෙදී සිටින කල, මට උන්වහන්සේ දැකිය නො හැක;
උන්වහන්සේ දකුණට හැරෙන කල, උන්වහන්සේගේ සේයාවකුදු මට දැකිය නො හැකි ය.
10එහෙත් මා ගන්නා මාර්ගය උන්වහන්සේ දන්නා සේක;
උන්වහන්සේ මා උර ගෑ කල, මම රත්රන් සේ නික්ම එන්නෙමි.
11මගේ පාද උන්වහන්සේගේ පියවර පසු පස ළඟින් ම ඇදෙයි;
මම බැහැරක නො යා, උන්වහන්සේගේ මාර්ගයෙහි ම පැවතුණෙමි.
12උන්වහන්සේගේ දෙතොලතරින් ආ ආඥාවලින් මම බැහැර ව නො ගියෙමි;
මගේ දිනපතා ආහාරයට වඩා උන්වහන්සේගේ මුඛයේ වචන මම හදේ නිදන් කොට තබා ගතිමි.
13“එහෙත් උන්වහන්සේ නො වෙනස් ව සිටින සේක; උන්වහන්සේ නැවත හැරවිය හැක්කේ කවරකුට ද?
උන්වහන්සේ තමන් කැමති දේ කරන සේක.
14මා ගැන නියමිත අදහස උන්වහන්සේ ක්‍රියාවට නංවන සේක;
එබඳු තව බොහෝ සැලසුම් උන්වහන්සේ වෙත ඇත.
15උන්වහන්සේ ඉදිරියේ මා තැති ගන්නේ එබැවිනි;
මේ හැමකක් ගැන සිතන විට උන්වහන්සේට මම භය වන්නෙමි.
16දෙවියන්වහන්සේ මගේ හදවත මුර්ඡා කළ සේක;
සර්ව පරාක්‍රමයාණෝ මා භයපත් කළ සේක.
17එහෙත් අන්ධකාරය හේතුවෙන්, මගේ මුහුණ ආවරණ කර සිටින ඝන අන්ධකාරය හේතුවෙන්
මම නිශ්ශබ්ද ව නො සිටින්නෙමි.
දැනට තෝරාගෙන ඇත:
යෝබ් 23: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.