යෝබ් 21

21
යෝබ්ගේ පිළිතුර
1එවිට යෝබ් මෙසේ පිළිතුරු දෙන්නට වන්නේ ය:
2“මගේ වචනවලට ඕනෑකමින් කන් දෙන්න;
නුඹලා මට දෙන අස්වැසිල්ල එය වේවා;
3මා කතා කරන අතරේ ඉවසා සිටින්න;
මා කතා කර නිම වූ පසු මට නිගා කරන්න.
4“මගේ පැමිණිල්ල මනුෂ්‍යයාට එරෙහිව ද?
මා නො ඉවසිලිමත් නො වී සිටින්නේ කවර හේතුවක් නිසා ද?
5මේ බලන්න; බලා, තූෂ්ණීම්භූත වන්න;
ඔබේ අතින් කට වසා ගන්න;
6මේ ගැන මා සිතන කල, මා බියෙන් කැලඹේ;
මගේ මුළු ගතම වෙවුලන්නට වෙයි;
7දුෂ්ටයින්, වයස්ගත වෙමින්, බලයෙන් බලයට පත් වෙමින්,
දිගට ම ජීවත් වන්නේ මන්ද?
8තමන් අබියස තම දරුවන් ස්ථාවර වන හැටි,
තමන්ගේ ඇස් හමුවේ තම පරපුර ස්ථාවර වන හැටි, ඔවුහු දකින්නෝ ය.
9ඔවුන්ගේ නිවෙස් සුරක්ෂිත ය; බියෙන් තොර ය;
දෙවියන්වහන්සේගේ ඉපල ඔවුන්ට එරෙහිව එසවී නැත.
10ඔවුන්ගේ ගවයා නො වරද්දා පැටවුන් බෝ කරයි;
ඔවුන්ගේ එළදෙන ගබ්සා නො වී පැටව් ගසයි;
11ඔවුන් තම දරුවන් පිටතට යවන්නේ බැටළු රෑනක් මෙනි;
ඔවුන්ගේ පොඩිඑව්වෝ නටති.
12ඔවුහු රබන් හඬට හා වීණා නාදයට අනුව ගී ගයමින්,
නළා නාදයට අනුව විනෝද වෙති;
13ඔවුහු සෞභාග්‍යයෙන් කල් යවා,
සාමයෙන් ෂෙයෝලයට#21:13 පාතාලයට හෙවත් මළවුන්ගේ ස්ථානයට බැස යති.
14එසේ වුව ද ඔවුහු දෙවියන්වහන්සේ අමතමින්, ‘අපට පාඩුවේ ඉන්න දෙන්න;
ඔබගේ මාර්ග දැනගැනීමේ ආශාවක් අපට නැත;
15උන්වහන්සේට අප මෙහෙ කරන්නට කවුරු ද මේ සර්ව පරාක්‍රමයාණන්?
උන්වහන්සේට යාච්ඤා කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනය කුමක් දැ?’ යි කියති.
16එහෙත්, ඔවුන්ගේ සෞභාග්‍යය රැඳී ඇත්තේ, ඔවුන් අතේ නො වේ;
එබැවින් දුෂ්ටයින්ගේ උපදෙසින් මම ඈත් ව සිටගන්නෙමි.
17“හොඳයි කී වරක් දුෂ්ටයන්ගේ පහන නිවා දමනු ලැබී ද?
ස්වකීය කෝපයෙන් දෙවියන්වහන්සේ නියම කළ විපත්තිය,
කී වරක් ඔවුන් පිටට ඇවිත් තියේ ද?
18කොපමණ වාරයක් ඔවුන් සුළඟ හමුවේ පිදුරු සේ වී ද?
මාරුතයට හසුව ගසා ගෙන ගිය බොල් පොතු සේ වී ද?
19‘දෙවියන්වහන්සේ මිනිසාගේ දඬුවම ඔහුගේ දරුවන් උදෙසා වෙන් කර තබා ඇතැ’ යි කියනු ලැබේ;
එහෙත් ඔහුගේ ඇස් ඇරෙන පිණිස උන්වහන්සේ දඬුවම ඔහු පිටට ම එවන සේක්වා!
20තමන්ගේ විනාශය ඔවුහු තම ඇස්වලින් ම දකිත්වා!
සර්ව පරාක්‍රමයාණන්ගේ උදහස ඔවුහු පානය කරත්වා!
21ඔහුට නියමිත ආයු කාලයේ මාස නිම වූ පසු,
ඔහු හැරපියා යන පවුලේ සුබ සෙත ගැන ඔහු කෙලෙස සලකන්නේ ද?
22“උත්තරීතරයින් පවා විනිශ්චය කරන දෙවියන්වහන්සේට
දැනගැන්ම ඉගැන්වීමට යමකුට හැකි වේ ද?
23එක් මිනිසෙක් මුළුමනින් ම සුරක්ෂිත ව,
සැප පහසුව සිට හොඳ ශරීර ශක්තියෙන් සිටියදී මිය යයි;
24ඔහුගේ සිරුර මනාව පෝෂ්‍ය ව,
ඔහුගේ ඇටකටු සාරයෙන් පිරී තිබිණ;
25කිසි සැපතක් නො විඳි තවත් මිනිසෙක්,
සිත් සන්තාපයෙන් සිටියදී මිය යයි;
26දූවිල්ලේ එක ළඟ දිගාව සිටින ඒ දෙදෙනාව ම
පණුවෝ එක සේ වසා ගනිති.
27“ඔන්න, නුඹලා සිතන්නේ මොනවාදැයි මම හොඳින් ම දනිමි;
මට අයුත්තක් කරන්නට යොදන උපා මම දනිමි.
28‘කෝ! අර අධිපතියාගේ මන්දිරය කොහේ ද?
දුෂ්ට මිනිසුන් විසූ වාසස්ථාන කොහේ දැ?’ යි ඔබ අසති.
29මහ මග යන එන්නන්ගෙන් ඔබ අසා බැලුවේ නැද්ද?
පිළිගන්නේ නැති ද නුඹලා ඔවුන්ගේ සාක්ෂිය?
30දුෂ්ට මිනිසා විපත්ති දවසෙන් වළක්වනු ලබන වග,
උදහසේ දවසෙන් ඔහු මුදනු ලබන වග.
31කවුරු ද ඔහුගේ කල් ක්‍රියාව ගැන ඔහුගේ මුහුණට ම දොස් තබන්නේ?
කවුරු ද ඔහු කර ඇති දෑට ඔහුට ප්‍රතිවිපාක දෙන්නේ?
32සොහොන් පොළ වෙත ඔහු ගෙන යන කල,
ඔහුගේ සොහොන වෙත මුරකාවල් තැබේ.
33මිටියාවතේ පස ද ඔහුට ප්‍රිය උපදන්නේ ය.
ඔහුට පිටුපසින් සියලු දෙනා ගමන් කරති;
ඔහුට පෙරටුවෙන් ගිය ජනයා ගණන් නැති තරම් ය.
34“එසේ නම් නුඹලාගේ විකාර කතාවලින් නුඹලා කෙසේ මා අස්වසාලන්න ද?
බොරුව මිස, නුඹලාගේ උත්තරවල ඇති දෙයක් නැත.”

දැනට තෝරාගෙන ඇත:

යෝබ් 21: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න