යෝබ් 19
19
යෝබ්ගේ ප්‍රතිචාරය
1එවිට යෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය:
2“තව කොතෙක් දුරට වචනවලින් නුඹලා මට වධ දෙමින්,
මා කුඩු-පට්ටම් කර දමනවා ද?
3මේ නුඹලා මට අවලාද නගන දස වන වතාවයි;
මට පහර ගසන්නට ලජ්ජා නැති ද?
4මා මුළාව ගිය වග ඇත්තට ම වූවා වුව ද,
මගේ වරදේ වගකීම තනිකර මගේ ය.
5සැබවින් ම නුඹලා මට ඉහළින් නුඹලා ම උසස් කර ගත්තත්,
මගේ නින්දාව මට එරෙහිව යොදාගත්තත්,
6දැනගන්න! මට වරද කර ඇත්තේ දෙවියන්වහන්සේයි;
තමන් දැල මා වට කොට එළා ඇත්තේ උන්වහන්සේයි.
7“ ‘මෙන්න! මට පහර දෙනෝ!’ ” යි මා මොර හඬ නැගුව ද, මට උත්තර නො ලැබේ;
මා උදවු ඉල්ලා කෑ ගැසුව ද, මට යුක්තිය ඉටු නො වේ.
8මට යා නො හැකි වන සේ උන්වහන්සේ මගේ මග අහුරා ඇත;
මගේ මාවත් අන්ධකාරයෙන් වසා ඇත.
9උන්වහන්සේ මගේ ගෞරවය මගෙන් ගලවා දමා,
මගේ හිසේ වූ ඔටුන්න ද ඉවත් කර ඇත.
10මා නැති වී යන තෙක් උන්වහන්සේ හැම අතින් මා කුඩු-පට්ටම් කර,
මගේ බලාපොරොත්තු ගහක් මෙන් උදුරා දමන සේක.
11උන්වහන්සේගේ කෝපය මට එරෙහිව ඇවිළේ;
උන්වහන්සේ මා සලකන්නේ තම සතුරකු ලෙසිනි.
12උන්වහන්සේගේ භට පිරිස් මහ සේනාවක් ව අවුත්,
මට එරෙහිව පවුරු ගොඩැල්ලක් ගොඩ නගා,
මගේ කූඩාරම වට කොට කඳවුරු බැඳ ගත්හ.
13“උන්වහන්සේ මගේ සහෝදරයින් මවෙතින් දුරු කර,
මා දන්නා හඳුනන්නන් මුළුමනින් ම මා හා භේද කර ඇත.
14මගේ නෑයින් ඉවත් ව ගොසිනි;
මගේ මිත්‍රයින්ට මා අමතක ව ගොසිනි.
15මගේ ගෙදර සිටින ආගන්තුකයින් හා මගේ සේවිකාවන් මා ගණන් ගන්නේ පිටස්තරයකු සේ ය.
ඔවුන් මා දිහා බලන්නේ විදෙස්සකු දෙස බලන අයුරිනි.
16මගේ සේවකයාට මම හඬ ගසමි; එහෙත් ඔහු මට උත්තර දෙන්නේ නැත;
මගේ ම මුවින් මා ඔහුට කන්නලව් කළ යුතු ව තිබේ.
17මගේ හුස්ම, මගේ බිරිඳට අප්‍රිය ව තිබේ;
මගේ ම සහෝදරයනට මා පිළිකුලක් ය.
18පොඩි ළමයින් පවා මට අවඥා කරති;
මා නැගිටින්නට තැත් කරන කල ඔවුහු මට උසුළු විසුළු කරති.
19මගේ කුලුපඟ මිතුරු සියල්ලෝ තදින් ම මා පිළිකුල් කරති;
මා ප්‍රේම කළෝ මට විරුද්ධ ව ඉවත හැරුණෝ ය.
20මගේ ඇටකටු හමට ඇලී ඇත;
මම යාන්තමින් නො මැරී සිටිමි.
21“මට අනුකම්පා කරන්න; අනේ! මා මිතුරනි මට අනුකම්පා කරන්න;
මන්ද දෙවියන්වහන්සේගේ හස්තය මට පහර දී ඇති බැවිනි.
22දෙවියන්වහන්සේ කරන්නා සේ, නුඹලාත් මා පසු පස හඹා එන්නේ මන්ද?
මගේ මාංසයට නුඹලා වධ දුන්නා මදි ද?
23“අහෝ මගේ වචන ලියනු ලැබුවහොත් යහපත;
ඒවා ඇකුළුම් පොතක ලියා තබන්නේ නම්;
24යකඩ කූරකින් සහ ඊයම්වලින් ඒවා පර්වතයක
සදහට ම කොටා තබන්නට ඇත්නම් කොපමණ හොඳ ද!
25මගේ මිදුම්කරුවාණන් ජීවත් වන වග ද
අන්තිමේදී උන්වහන්සේ පොළොව මත නැගී සිටිනා වග ද මම දනිමි;
26මගේ මේ හම විනාශ වී ගිය පසුව වුව ද
මගේ මාංසයෙන් යුතු ව මම දෙවියන්වහන්සේ දකින්නෙමි.
27මේ මම උන්වහන්සේ දකින්නෙමි;
මගේ ම දෑසින්-අනෙකකු නො ව මේ මම උන්වහන්සේ දකින්නෙමි.
ඒ පිණිස මගේ හදවත මා තුළ කොතරම් ලොල් වේ ද!
28“ ‘ඔහුගේ විපත්තියේ මුල, ඔහු වෙත ම වන බැවින්
අපි කෙලෙස ඔහු ලුහුබඳින්නෙමු දැ’ යි නුඹලා කියනවා නම්;
29නුඹලා කඩුවට භය විය යුතු ව ඇත;
උදහස විසින් දඬුවම ගෙනෙන්නේ කඩුවෙනි;
විනිශ්චයක් ඇති වග එවිට නුඹලා දැනගනු ඇත.”
දැනට තෝරාගෙන ඇත:
යෝබ් 19: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.