යෝබ් 19:8-25

යෝබ් 19:8-25 SCV

මට යා නො හැකි වන සේ උන්වහන්සේ මගේ මග අහුරා ඇත; මගේ මාවත් අන්ධකාරයෙන් වසා ඇත. උන්වහන්සේ මගේ ගෞරවය මගෙන් ගලවා දමා, මගේ හිසේ වූ ඔටුන්න ද ඉවත් කර ඇත. මා නැති වී යන තෙක් උන්වහන්සේ හැම අතින් මා කුඩු-පට්ටම් කර, මගේ බලාපොරොත්තු ගහක් මෙන් උදුරා දමන සේක. උන්වහන්සේගේ කෝපය මට එරෙහිව ඇවිළේ; උන්වහන්සේ මා සලකන්නේ තම සතුරකු ලෙසිනි. උන්වහන්සේගේ භට පිරිස් මහ සේනාවක් ව අවුත්, මට එරෙහිව පවුරු ගොඩැල්ලක් ගොඩ නගා, මගේ කූඩාරම වට කොට කඳවුරු බැඳ ගත්හ. “උන්වහන්සේ මගේ සහෝදරයින් මවෙතින් දුරු කර, මා දන්නා හඳුනන්නන් මුළුමනින් ම මා හා භේද කර ඇත. මගේ නෑයින් ඉවත් ව ගොසිනි; මගේ මිත්‍රයින්ට මා අමතක ව ගොසිනි. මගේ ගෙදර සිටින ආගන්තුකයින් හා මගේ සේවිකාවන් මා ගණන් ගන්නේ පිටස්තරයකු සේ ය. ඔවුන් මා දිහා බලන්නේ විදෙස්සකු දෙස බලන අයුරිනි. මගේ සේවකයාට මම හඬ ගසමි; එහෙත් ඔහු මට උත්තර දෙන්නේ නැත; මගේ ම මුවින් මා ඔහුට කන්නලව් කළ යුතු ව තිබේ. මගේ හුස්ම, මගේ බිරිඳට අප්‍රිය ව තිබේ; මගේ ම සහෝදරයනට මා පිළිකුලක් ය. පොඩි ළමයින් පවා මට අවඥා කරති; මා නැගිටින්නට තැත් කරන කල ඔවුහු මට උසුළු විසුළු කරති. මගේ කුලුපඟ මිතුරු සියල්ලෝ තදින් ම මා පිළිකුල් කරති; මා ප්‍රේම කළෝ මට විරුද්ධ ව ඉවත හැරුණෝ ය. මගේ ඇටකටු හමට ඇලී ඇත; මම යාන්තමින් නො මැරී සිටිමි. “මට අනුකම්පා කරන්න; අනේ! මා මිතුරනි මට අනුකම්පා කරන්න; මන්ද දෙවියන්වහන්සේගේ හස්තය මට පහර දී ඇති බැවිනි. දෙවියන්වහන්සේ කරන්නා සේ, නුඹලාත් මා පසු පස හඹා එන්නේ මන්ද? මගේ මාංසයට නුඹලා වධ දුන්නා මදි ද? “අහෝ මගේ වචන ලියනු ලැබුවහොත් යහපත; ඒවා ඇකුළුම් පොතක ලියා තබන්නේ නම්; යකඩ කූරකින් සහ ඊයම්වලින් ඒවා පර්වතයක සදහට ම කොටා තබන්නට ඇත්නම් කොපමණ හොඳ ද! මගේ මිදුම්කරුවාණන් ජීවත් වන වග ද අන්තිමේදී උන්වහන්සේ පොළොව මත නැගී සිටිනා වග ද මම දනිමි