යෝබ් 16

16
යෝබ් පිළිතුරු දෙයි
1එවිට යෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය:
2“මේ වගේ බොහෝ දේ මා අසා තියේ;
නුඹලා සැවොම දුක්දෙන සැනැසිලිදායකයෝ ය.
3සුළං වැනි නුඹලාගේ දිග හෑලි නවතින්නේ නැද්ද?
නුඹ දිගින් දිගට වාද කරන්නේ කවර ව්‍යාධියක් නිසා ද?
4ඔබ වාගේ කතා කරන්නට මටත් පුළුවන;
මා සිටින තත්වයේ ඔබ සිටියොත්
ඔබට එරෙහිව අපූරුවට කතා පවත්වමින්,
ඔබට හිස වනන්නට මටත් පුළුවන.
5එහෙත් මා කරනු ඇත්තේ, මා මුවින් ඔබ ධෛර්යවත් කිරීමයි;
මගේ තොල් අතරින් එන සැනසිල්ලෙන් ඔබට සහනය ගෙන දීමයි.
6“මා කතා කළත් මගේ වේදනාව සමනය නො වේ;
මා කතා නො කර සිටියත් වේදනාව පහ වී නො යේ.
7සැබවින් ම අහෝ දෙවියන්වහන්ස, ඔබ, මා නාස්ති කර දමලා;
මගේ ගෘහ වාසීන් සැවොම විනාශ කර දමලා.
8ඔබ මා වියළවා හැරලා; දැන් එය සාක්ෂියක් බවට පත් වෙලා.
මගේ වැහැරුණු බව මට එරෙහිව නැගිට, මගේ මුහුණට ම සාක්ෂි දෙයි.
9උන්වහන්සේ ස්වකීය කෝපයෙන් මට පහර දී මා ඉරා දමන සේක්;
මා ගැන දත්මිටි කන සේක;
මගේ එදිරිවාදියා මට ඔරවන්නේ ය.
10මිනිස්සු මට පරිභව කරන්නට තම මුව විවර කළෝ,
පරිහාසයෙන් යුතු ව මගේ කම්මුලට ගසා,
මට එරෙහිව එක් රොක් වෙති.
11දෙවියන්වහන්සේ නපුරු මිනිසුන් අතට මා පත් කළ සේක;
දුදනන්ගේ ග්‍රහණයට මා හෙළූ සේක.
12සියල්ලෙහි දී මම යෙහෙන් සිටියෙමි; එහෙත් උන්වහන්සේ මා විසුණු කළ සේක;
උන්වහන්සේ මා බෙල්ලෙන් අල්ලා, පොඩිකර දැමූ සේක.
උන්වහන්සේ මා ඉලක්ක කර ගත් සේක.
13උන්වහන්සේගේ දුනුවායෝ මා වට කොට සිටිති;
අනුකම්පාවක් නැතිව උන්වහන්සේ මගේ වකුගඩු පසාරු කර,
මගේ පිත බිම ඉහිරවන සේක.
14නැවත නැවතත් උන්වහන්සේ මා පිට කඩා පනින සේක්;
රණවිරුවකු සේ විගස මා වෙත එන සේක.
15“මම ගෝණි රෙදි මසා මගේ ගත වසා,
මගේ අඟ දූලියෙහි හෙළා සිටිමි.
16වැලපීමෙන් මගේ මුහුණ රතුවී ගොසිනි;
මගේ ඇස් වටා ගන කළු ලප මතු වී ඇත.
17එනමුත් මගේ දෑතෙහි සැහැසිකම නැත;
මගේ යාච්ඤාව පවිත්‍ර ය.
18“එම්බා මහ පොළොව, මගේ ලේ වසා නො දමන්න;
මගේ අඳෝනාව කිසි කල විවේක නො ගනීවා!
19දැනුදු මෙන්න, මගේ සාක්ෂිකරුවාණන් ස්වර්ගයේ ය;
මගේ නීතිවේදියාණන් උත්තම ස්ථානයේ ය.
20මගේ ඇස් දෙවියන්වහන්සේට කඳුළු හෙලද්දී,
මට අවමන් කරන්නේ මගේ ම මිතුරන් ය;
21මිනිසෙක් තම මිත්‍රයා උදෙසා ආයාචනා කරන්නා සේ
ඔහු මිනිසකු උදෙසා දෙවියන්වහන්සේට ආයාචනා කරයි.
22“ආපසු නො එන ගමන මා යන්නට පළමු,
තව ඉතිරි ව ඇත්තේ අවුරුදු අතළොස්සක් පමණි.

දැනට තෝරාගෙන ඇත:

යෝබ් 16: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න