යෝබ් 1:9-20

යෝබ් 1:9-20 SCV

එවිට සාතන් ස්වාමින්වහන්සේට පිළිතුරු දෙමින්, “යෝබ් දෙවියන්වහන්සේට භය පක්ෂපාත වන්නේ හේතුවක් නැතිව ද? ඔබවහන්සේ ඔහු වටාත්, ඔහුගේ ගෘහ වාසීන් හා ඔහු සන්තක සියල්ල වටාත් වැටක් බැඳ තිබෙනවා නො වේ ද? ඔහුගේ ගව හා එළු බැටළු රංචු දේශය පුරා පැතිරෙන ලෙසට ඔබවහන්සේ ඔහුට ආශිර්වාද කර ඇත. හොඳයි, ඔබේ අත දිගු කර ඔහු සතු හැම දේට පහර දී බලන්න; එවිට නිසැකයෙන් ම ඔහු ඔබේ මුහුණට ම ශාප කරනු ඇතැ” යි පැවසී ය. එවිට ස්වාමින්වහන්සේ, “ඔන්න, එහෙනම් ඔහු සතු හැම දෙයක් ම නුඹ අතෙයි; හැබැයි ඒ මිනිසාට නම් අත තියනවා හෙම නො වේ යැ” යි සාතන්ට පැවසූ සේක. ඉන්පසු සාතන් ස්වාමින්වහන්සේ ඉදිරියෙන් පිටත් ව ගියේ ය. යෝබ්ගේ පුතුන් හා දූවරුන් තම වැඩිමල් සහෝදරයාගේ නිවසේ භෝජන සංග්‍රහ විඳිමින්, මිදි යුෂ පානය කරමින් සිටි දිනෙක, යෝබ් වෙත පණිවුඩකරුවෙක් පැමිණ, “ගවයින් හාමින් ද බූරුවන් ඒ අසල තණ කමින් ද සිටියදී, ෂෙබාවරු කඩා වැදී උන් පැහැරගෙන ගියෝ ය, සේවකයින්ට කඩු පහර දී, මරා දැමුවෝ ය. මේ වග ඔබට කියන්නට ඉතිරි වූයේ මා පමණකැ” යි කීවේ ය. ඔහු එසේ කියමින් සිටියදී ම මෙන්න! තවත් පණිවුඩකරුවෙක් එහි පැමිණ, “දෙවියන්වහන්සේගේ ගින්දර අහසින් අවුත්, බැටළුවන් ද සේවකයන් ද පිට පතිත වී, ඇවිළී ඔවුන් දවා දැමුවා. ඔබට කියන්නට බේරී ඉතිරි වුණේ මා පමණි” යි කීවේ ය. ඔහු එසේ පවසමින් සිටියදී ම එහි පැමිණි තවත් පණිවුඩකරුවෙක්, “ඔටුවන් පිටට කල්දිවරුන් කණ්ඩායම් තුනක් සැදී, කඩා වැදී, උන් පැහැරගෙන ගියා. සේවකයින් කඩු පහර කා මැරුණා. ඔබට කියන්නට බේරී ඉතිරි වුණේ මා පමණකි” යි කීවේ ය. ඔහු එසේ කියමින් සිටියදී ම එහි පැමිණි වෙනත් පණිවුඩකරුවෙක්, “ඔබගේ පුතුන් හා දූවරුන් ඔවුන්ගේ වැඩිමල් සහෝදරයාගේ නිවසේ භෝජන සංග්‍රහ විඳිමින්, මිදි යුෂ පානය කරමින් සිටියා; මෙන්න! එකපාරට ම කාන්තාරයේ සිට සැඩ සුළඟක් හමා, ගෙයි හතර පැත්තට ම පහර වැදුණා; එයින් ගෙය දූ පුතුන් මත කඩා වැටී ඔවුන් මැරුණා; ඔබට කියන්නට බේරී ඉතිරි වුණේ මා පමණි” යි කීවේ ය. එවිට යෝබ් නැගිට, තම හැඳිවත් ඉරාගෙන, හිස බූ ගා, බිම වැටී වැඳ

යෝබ් 1 කියවන්න