යොහන් 7:37-44

යොහන් 7:37-44 SCV

මංගල්‍යයේ අවසාන දවස වන වැදගත් ම දවසේ නැගී සිටි යේසුස්වහන්සේ මහ හඬින් කතා කරමින්, “යම් කෙනකුට පිපාස ද, ඔහු මා වෙත ඇවිත් පානය කරත්වා! මා තුළ විශ්වාස කරන කවරකු වුව ද ශුද්ධ ලියවිල්ලේ සඳහන් පරිදි, ඔහුගේ හද තුළින් ජීවන ගංගා ගලා යන්නේ යැ” යි පැවසූ සේක. උන්වහන්සේ ඉන් අදහස් කළේ, උන්වහන්සේ තුළ විශ්වාසය තැබූ අය මතු ලබන්නට සිටි ආත්මයාණන් ගැන ය. ඒ වන තෙක් ආත්මයාණන් දෙනු ලැබ තිබුණේ නැත. මන්ද තවමත් යේසුස්වහන්සේ මහිමයට පමුණු වන ලද්දේ නැත. ඒ ඇසූ ජනයාගෙන් ඇතැම් දෙනෙක්, “නිසැකයෙන් ම මේ දිවැසිවරයා යැ” යි කීහ. අන් සමහරු, “මේ නම් ක්‍රිස්තුස්වහන්සේ යැ” යි කීහ. තවත් අය, “ක්‍රිස්තුස්වහන්සේ ගලීලයෙන් ඒ ද? ක්‍රිස්තුස්වහන්සේ පැමිණෙන්නේ දාවිත්ගේ වංශයෙන් බවත්, දාවිත් සිටි ගම වන බෙත්ලෙහෙමෙන් බවත් ශුද්ධ ලියවිල්ල කියනවා නො වේ දැ?” යි ඇසූහ. මෙසේ එහි උන්වහන්සේ ගැන ජනයා අතරේ බෙදීමක් ඇති විය. උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට ඇතැම් දෙනකුට ඕනෑ වුව ද, කිසිවකුත් උන්වහන්සේට අත තැබුවේ නැත.