යොහන් 4:43-53
යොහන් 4:43-53 SCV
ඒ දෙදිනට පසු යේසුස්වහන්සේ ඔවුන්ගෙන් සමුගෙන ගලීලය බලා ගිය සේක. “දිවැසිවරයකුට තම ගමේදී ගෞරවයක් නැතැ” යි යේසුස්වහන්සේ පවසා තිබූ නමුදු, යෙරුසලමේ පාස්කු උත්සවයේදී උන්වහන්සේ සිදු කළ සියල්ල දැක තිබූ ගලීල වාසීහු උන්වහන්සේ හරසරින් පිළිගත්හ. ඔවුන් ද උත්සවයට ගොස් තිබුණි. යේසුස්වහන්සේ වතුර, මිදි යුෂ බවට පත් කළ ගලීලයේ කානා නගරය කරා උන්වහන්සේ යළි පැමිණි සේක. රෝගී පුත්‍රයකු සිටි එක්තරා රජයේ නිලධාරියෙක් කපර්ණවුම්හි සිටියේ ය. යේසුස්වහන්සේ යුදයේ සිට ගලීලයට ආ වග ඇසූ හෙතෙම උන්වහන්සේ හමුවට ගොස්, උන්වහන්සේට කන්නලව් කරමින්, අවුත් මරණාසන්න ව සිටින තම පුත්‍රයා සුව කර දෙන මෙන් අයැදී ය. යේසුස්වහන්සේ ඔහු අමතා, “අනුහස් ලකුණු හා පුදුම දුටුවොත් මිස, ඔබට විශ්වාස කරන්න බැහැ නො වේ දැ?” යි ඇසූ සේක. “මහත්මයාණනි, අනේ මගේ දරුවා මැරෙන්නට කලින් අව මැනව” යි රජයේ නිලධාරියා කියා සිටියේ ය. “යන්න; ඔබේ පුත්‍රයා ජීවත් වනු ඇතැ” යි යේසුස්වහන්සේ පැවසූ කල, ඔහු උන්වහන්සේගේ වචන පිළිගෙන ආපසු ගියේ ය. ඔහු මග යද්දී ම ඔහුගේ ගෙදර මෙහෙකරුවෝ ඔහු හමු වී, “ඔබේ පුතාට සුවය ලැබුණා” යි දැන්වූහ. ඔහුට සුවය ලැබුණේ කවර වේලාවෙදැයි ඔහු ඔවුන්ගෙන් විමසූ විට, “ඊයේ හත් වන පැයේදී ඔහුගේ උණ බැස්සා” යි ඔවුහු කීහ. “ඔබේ පුත්‍රයා ජීවත් වනු ඇතැ” යි යේසුස්වහන්සේ පැවසුවේ හරියට ම ඒ වෙලාවේ බව පියාට අවබෝධ විය. එබැවින් ඔහු පමණක් නො ව ඔහුගේ නිවසේ සැවොම ද අදහා ගත්හ.


