ශු. යොහන් 4:43-53

ශු. යොහන් 4:43-53 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඒ දෙදිනට පසු යේසුස්වහන්සේ ඔවුන්ගෙන් සමුගෙන ගලීලය බලා ගිය සේක. “දිවැසිවරයකුට තම ගමේදී ගෞරවයක් නැතැ” යි යේසුස්වහන්සේ පවසා තිබූ නමුදු, යෙරුසලමේ පාස්කු උත්සවයේදී උන්වහන්සේ සිදු කළ සියල්ල දැක තිබූ ගලීල වාසීහු උන්වහන්සේ හරසරින් පිළිගත්හ. ඔවුන් ද උත්සවයට ගොස් තිබුණි. යේසුස්වහන්සේ වතුර, මිදි යුෂ බවට පත් කළ ගලීලයේ කානා නගරය කරා උන්වහන්සේ යළි පැමිණි සේක. රෝගී පුත්‍රයකු සිටි එක්තරා රජයේ නිලධාරියෙක් කපර්ණවුම්හි සිටියේ ය. යේසුස්වහන්සේ යුදයේ සිට ගලීලයට ආ වග ඇසූ හෙතෙම උන්වහන්සේ හමුවට ගොස්, උන්වහන්සේට කන්නලව් කරමින්, අවුත් මරණාසන්න ව සිටින තම පුත්‍රයා සුව කර දෙන මෙන් අයැදී ය. යේසුස්වහන්සේ ඔහු අමතා, “අනුහස් ලකුණු හා පුදුම දුටුවොත් මිස, ඔබට විශ්වාස කරන්න බැහැ නො වේ දැ?” යි ඇසූ සේක. “මහත්මයාණනි, අනේ මගේ දරුවා මැරෙන්නට කලින් අව මැනව” යි රජයේ නිලධාරියා කියා සිටියේ ය. “යන්න; ඔබේ පුත්‍රයා ජීවත් වනු ඇතැ” යි යේසුස්වහන්සේ පැවසූ කල, ඔහු උන්වහන්සේගේ වචන පිළිගෙන ආපසු ගියේ ය. ඔහු මග යද්දී ම ඔහුගේ ගෙදර මෙහෙකරුවෝ ඔහු හමු වී, “ඔබේ පුතාට සුවය ලැබුණා” යි දැන්වූහ. ඔහුට සුවය ලැබුණේ කවර වේලාවෙදැයි ඔහු ඔවුන්ගෙන් විමසූ විට, “ඊයේ හත් වන පැයේදී ඔහුගේ උණ බැස්සා” යි ඔවුහු කීහ. “ඔබේ පුත්‍රයා ජීවත් වනු ඇතැ” යි යේසුස්වහන්සේ පැවසුවේ හරියට ම ඒ වෙලාවේ බව පියාට අවබෝධ විය. එබැවින් ඔහු පමණක් නො ව ඔහුගේ නිවසේ සැවොම ද අදහා ගත්හ.

ශු. යොහන් 4:43-53 Sinhala Revised Old Version (SROV)

ඒ දෙදවසට පසු උන්වහන්සේ එතැනින් පිටත්ව ගලීලයට ගියසේක. මක්නිසාද අනාගතවක්තෘ කෙනෙකුට තමාගේම රටේදී ගෞරව නැතැයි යේසුස්වහන්සේම සාක්ෂිදුන්සේක. මෙසේ උන්වහන්සේ ගලීලයට පැමිණි කල, ගලීලයෝ මංගල්‍යයේදී උන්වහන්සේ විසින් යෙරුසලමෙහි කළ සියල්ල දැක උන්වහන්සේ පිළිගත්තෝය. මක්නිසාද ඔව්හුද මංගල්‍යයට පැමිණියෝය. එවිට උන්වහන්සේ තමන් විසින් වතුරෙන් මුද්‍රිකපානය සෑදුවාවූ ගලීලයේ කානා නුවරට නැවත පැමිණිසේක. කපර්ණවුමෙහි රෝගීවු පුත්‍රයෙකු ඇති එක්තරා ඇමතියෙක් සිටියේය. ඔහු යේසුස්වහන්සේ යුදයේ සිට ගලීලයට ඇවිත් සිටින බව අසා, උන්වහන්සේ ළඟට ගොස්, ඇවිත් තමාගේ පුත්‍රයා සුවකරන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලුවේය; මක්නිසාද ඔහු මරණාසන්නව සිටියේය. යේසුස්වහන්සේ ඔහුට කථාකොට: නුඹලා ලකුණුද පුදුමද නුදුටුවොත් කිසිසේත් විශ්වාස කරන්නේ නැතැයි ඔහුට කීසේක. ස්වාමිනි, මාගේ දරුවා නසින්ට පළමුවෙන් අව මැනවයි ඇමතියා කීවේය. යේසුස්වහන්සේද: යන්න, නුඹේ පුත්‍රයා ජීවත්ව සිටීයයි ඔහුට කීසේක. ඒ මනුෂ්‍යයා තමාට යේසුස්වහන්සේ කී වචනය විශ්වාසකරගෙන ගියේය. ඔහු යන කල ඔහුගේ දාසයෝ ඔහු පෙරමගට ඇවිත් ඔහුගේ පුත්‍රයා ජීවත්ව සිටීයයි ඔහුට කීවෝය. එවිට ඔහුට සුවවෙන්ට පටන්ගත්තේ කොයි පැයේදීදැයි ඔහු ඔවුන්ගෙන් විචාළේය. ඊයේ සත්වෙනි පැයේදී උණ බැස්සේයයි ඔව්හු ඔහුට කීවෝය. නුඹේ පුත්‍රයා ජීවත්ව සිටීයයි යේසුස්වහන්සේ තමාට කී පැය එයමයයි පියා දැන, ඔහුද ඔහුගේ ගෙයි සියල්ලෝද අදහාගත්තෝය.

ශු. යොහන් 4:43-53 Sinhala New Revised Version (NRSV)

ඒ දෙදවසට පසු, උන් වහන්සේ එතැනින් නික්ම ගලීලයට වැඩම කළ සේක. මන්ද, “ගමේ දිවැසිවරයා ගමට අගේ නැතැ”යි කීවේ උන් වහන්සේ ම ය. එහෙත් ජෙරුසලමෙහි මංගල්‍යයේ දී උන් වහන්සේ කළ සියල්ල දුටු බැවින්, ගලීලයෝ උන් වහන්සේ උත්සවාකාරයෙන් හොඳින් පිළිගත්හ. යළිත් උන් වහන්සේ ගලීලයේ කානා නම් ගමට වැඩම කළ සේක. උන් වහන්සේ විසින් වතුර මිදියුස බවට හරවන ලද්දේ එහි දී ය. එකල, එහි එක්තරා රාජ්‍ය නිලධාරියෙක් විය. ඔහුගේ පුත්‍රයා රෝගාතුර ව කපර්ණවුමෙහි සිටියේ ය. ජේසුස් වහන්සේ ජුදයේ සිට ගලීලයට වැඩම කළ බව අසා, ඔහු උන් වහන්සේ වෙතට ගොස්, තම පුත්‍රයා මරණාසන්න ව සිටින බැවින්, අවුත් ඔහු සුව කරන මෙන් උන් වහන්සේගෙන් අයැද සිටියේ ය. ජේසුස් වහන්සේ, “ඔබ ලකුණු ද අරුමපුදුම දේ ද දුටුවොත් මිස විශ්වාස නො කරන්නාහු ය”යි ඔහුට වදාළ සේක. රාජ්‍ය නිලධාරියා ද, “මහතාණෙනි, මාගේ දරුවා මියයන්නට පෙර වැඩිය මැනවැ”යි අයැදී ය. ජේසුස් වහන්සේ කතා කරමින්, “යන්න, ඔබගේ පුත්‍රයා ජීවත් වන්නේ ය”යි ඔහුට වදාළ සේක. ඒ තැනැත්තා ජේසුස් වහන්සේ වදාළ වචනය විශ්වාස කරගෙන ගියේ ය. ඔහු යන කල, ඔහුගේ දාසයෝ පෙරමඟට අවුදින්, “ඔබගේ පුත්‍රයා ජීවත් වන්නේ ය”යි කී හ. එවිට, “පුත්‍රයා සුවය ලබන්න පටන්ගත්තේ කොයි වේලාවේ දැ”යි ඔහු ඔවුන්ගෙන් විමසී ය. “ඊයේ පස්වරු එකට පමණ උණ බැස්සේ ය”යි ඔව්හු කී හ. “ඔබගේ පුත්‍රයා ජීවත් වන්නේ ය”යි ජේසුස් වහන්සේ ඔහුට වදාළේ, ඒ මොහොතේ දී යයි දැනගත් බැවින්, ඔහු ද, ඔහුගේ ගෙයි වැසි සියල්ලෝ ද එතුමන් අදහාගත්හ.

ශු. යොහන් 4:43-53 Sinhala New Revised Version 2018 (SNRV)