යොහන් 10:14-27

යොහන් 10:14-27 SCV

“යහපත් එඬේරා මමයි; මගේ ම උන් මම හඳුනමි; මගේ ම බැටළුවෝ ද මා හඳුනති. එය හරියට පියාණන්වහන්සේ මා හඳුනන පරිදි ය; මා පියාණන්වහන්සේ හඳුනන පරිදි ය. මගේ බැටළුවන් උදෙසා මම මගේ ජීවිතය පුදමි. මේ ගාලට අයිති නැති තවත් බැටළුවන් මට සිටී. මා ඔවුන් ද ගෙන ආ යුතුයි. ඔවුන් ද මගේ කටහඬට සවන් දෙනු ඇත. එවිට එක ම බැටළු රැළකි; එක ම එඬේරෙකි. පියාණන්වහන්සේ මට ප්‍රේම කරන හේතුව, මා විසින් ම ආපසු ගන්නා පිණිස, මා මගේ ජීවිතය පිදීමයි. කිසිවකු මගේ ජීවිතය මගෙන් ගන්නවා නො වේ. මා එය පුදන්නේ මගේ ම අනුමැතියෙනි. එය පුදකිරීමේ අධිකාරි බලය මට ඇත; එය නැවත ගැනීමේ අධිකාරි-බලයත් මට ඇත. මේ ආඥාව මා ලද්දේ මගේ පියාණන්වහන්සේගෙනි” යි පැවසූ සේක. මේ වචන නිසා යළිත් යුදෙව්වරුන් අතර බෙදීමක් ඇති විය. ඔවුන් අතරින් බොහෝ දෙනෙක්, “ඔහුට යක්ෂාත්මයක් වැහිලා. ඔහුට පිස්සු; මොකට මේවා අහනවා දැ?” යි කීහ. සෙසු අය, “මේවා යක්ෂාවේශ කෙනකු කියන වචන නො වේ; අන්ධයින්ගේ ඇස් අරවන්නට යක්ෂාත්මයකට පුළුවන් දැ?” යි කීහ. ඒ, යෙරුසලමේ කැප කිරීමේ මංගල්‍යය පැවැත්වෙන කාලයයි; ඒ ශීත සෘතුව ය. යේසුස්වහන්සේ දේව මාලිගයේ සාලමොන්ගේ මණ්ඩපයේ සක්මන් කරමින් සිටි සේක. එවිට යුදෙව්වරු උන්වහන්සේ වටකර ගෙන, “ඔබ තව කොතෙක් කලක් අප දෙගිඩියාවෙන් තියනවා ද? ඔබ ක්‍රිස්තුස්වහන්සේ නම් පැහැදිලි ව අපට කියන්නැ” යි කීහ. යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “මා ඔබට කීවා; එහෙත් ඔබ විශ්වාස කරන්නේ නෑ. මගේ පියාණන්ගේ නාමයෙන් මා කළ වැඩ, මා ගැන සාක්ෂි දරයි. එහෙත් ඔබ විශ්වාස නො කරන්නේ ඔබ මගේ රැළේ බැටළුවන් නො වන නිසයි. මගේ බැටළුවෝ මගේ කටහඬට සවන් දෙති; මම ඔවුන් හඳුනමි. ඔවුහු මා පස්සේ එති.