යෙරමියා 7:1-8
යෙරමියා 7:1-8 SCV
ස්වාමින්වහන්සේ වෙතින් යෙරමියා වෙත පැමිණි වචනයයි මේ: “ස්වාමින්වහන්සේගේ ගෘහයේ දොරටුවේ සිටගෙන, මේ වචනය එහිදී ප්‍රකාශ කරමින් මෙසේ පවසන්න: “ ‘ස්වාමින්වහන්සේට නමස්කාර කරන්නට මේ දොරටුවලින් ඇතුළු වන යූදාහි සියලු මිනිසුනි, ස්වාමින්වහන්සේගේ වචනයට සවන් දෙන්න. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ඔබගේ මාර්ග හා ඔබගේ ක්‍රියා හරිගස්සා ගන්න. එවිට මේ ස්ථානයෙහි ම පදිංචි වීමට මම ඔබට ඉඩ සලසා දෙන්නෙමි. “මෙය ස්වාමින්වහන්සේගේ මාලිගාව ය, ස්වාමින්වහන්සේගේ මාලිගාව ය, ස්වාමින්වහන්සේගේ මාලිගාව ය” කියන රැවටිලිකාර වචන ගැන විශ්වාසය නො තබන්න. මන්ද ඔබ සැබවින් ම ඔබේ මාර්ග හා ඔබේ ක්‍රියා වෙනස් කර ගෙන, එකිනෙකා සමඟ යුක්ති සහගත ව කටයුතු කරන්නේ නම්, විදෙස්සනට ද පියා නැති අනාථ දරුවනට හා වැන්දඹුවනට පීඩා කරන්නේ නැති නම් හා මේ ස්ථානයෙහි නිදොස් ලේ වගුරුවන්නේ නැති නම්, ඔබට අනර්ථදායක වන වෙනත් දෙවි-දේවතාවුන් පසු පස ඔබ යන්නේ නැති නම්, ඔබේ ආදී පියවරුනට සදහට ම මා දුන් දේශය වන මේ දේශයෙහි වාසය කිරීමට මම ඔබට ඉඩ දෙන්නෙමි. එහෙත් මෙන්න! නුඹලා පලක් නැති රැවැටිලිකාර වචන ගැන විශ්වාසය තබා ඇත.

