යෙරමියා 38

38
යෙරමියා ළිඳ තුළට දැමීම
1එකල යෙරමියා, මුළු ජනයා අමතමින්, පැවසූ වචන මත්තාන්ගේ පුත් ෂෙෆටියා ද පෂ්හූර්ගේ පුත් ගෙදලියා ද ෂෙලෙමියාගේ පුත් යූකල්#38:1 යූකල් එනම් යෙහූකල් ද මල්කීයාගේ පුත් පෂ්හූර් ද අසා සිටියහ. ඔහු පැවසුවේ, 2ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ‘මේ නගරයේ නැවතී සිටින කවුරුන් වුව ද, කඩුවෙන්, සාගතයෙන් හෝ වසංගතයෙන් හෝ මැරුම් කනු ඇත. එහෙත් කල්දිවරුන් වෙත පිටතට යන කවුරුන් වුව, ජීවත් වනු ඇත. තම පණ ගලවාගෙන බේරී යන ඔහු ජීවත් වන්නේ ය.’ 3ස්වාමින්වහන්සේ මෙසේ ද පවසන සේක: ‘මේ පුරවරය බබිලෝනි රජුගේ හමුදාව අතට නියතයෙන් ම හසුකර දෙනු ලැබේ. ඔහු එය අල්ලා ගනු ඇත’ ” යනුවෙනි.
4එවිට නිලධාරීහු රජුට කතා කොට, “මේ මිනිහා මරා දැමිය යුතුයි. මන්ද මේ පුරවරයේ ඉතිරි ව සිටින සෙබළු මෙන් ම මේ මුළු ජනයා ද මොහු ඔවුන්ට පවසන මේ වචනවලින් අධෛර්යට පත් වෙනවා. මේ මිනිහා සොයන්නේ මේ ජනතාවගේ සුබ සෙත නො ව, ඔවුන්ගේ අනර්ථය ම යැ” යි පැවසූහ.
5සෙදෙකියා රජු පිළිතුරු දෙමින්, “මෙන්න, ඔහු නුඹලාගේ අතේ; නුඹලාට විරුද්ධ ව කිසිවක් කරන්නට රජුට නො හැකි යැ” යි කීවේ ය.
6එබැවින් ඔවුහු යෙරමියා අල්ලා, ආරක්ෂක මළුවේ වූ රජුගේ පුත් මල්කීයාගේ ළිඳට හෙළූහ. ඔවුහු ලණුවල ආධාරයෙන් ළිඳ තුළට ඔහු බැස්සූහ. එතුළ ජලය තිබුණේ නැත. තිබුණේ මඩ පමණි. යෙරමියා මඩේ එරුණේ ය.
7එහෙත්, රජ මාලිග රාජ්‍ය නිලධාරියකු#38:7 රාජ්‍ය නිලධාරියකු හෙවත් නපුංසකයකු වූ කූෂීය එබෙද්-මෙලෙක්ට යෙරමියා ළිඳට හෙළූ වග සැල විණ. රජු, බෙන්යමින් දොරටුවෙහි අසුන් ගෙන සිටියදී, 8එබෙද්-මෙලෙක් මාලිගයෙන් පිටතට අවුත්, රජු අමතමින්, 9“මගේ ස්වාමියා වූ රජතුමනි, මේ මිනිස්සු යෙරමියා දිවැසිවරයාට කළ හැම දෙයකදී ම ක්‍රියා කොට ඇත්තේ දුෂ්ට විදියටයි. ඔවුන් ළිඳකට ඔහු හෙළා දමලා; නගරයේ රොටි කිසිවක් හෝ නැති බැවින් ඔහු සාගින්නෙන් මිය යාවී” යි කීවේ ය.
10එවිට කූෂ් ජාතික එබෙද්-මෙලෙක් ඇමතූ රජු, “මෙහෙන් මිනිසුන් තිස්දෙනකු ඔබ සමඟ ගෙන ගොස්, යෙරමියා දිවැසිවරයා මියෙන්නට කලින් ළිඳෙන් ඔහු ගොඩ ගන්නැ” යි අණ කළේ ය.
11එබැවින් එබෙද්-මෙලෙක්, තමා සමඟ ඒ මිනිසුන් ගෙන, මාලිග ගබඩාවේ පහළ කාමරයට ගොස්, රජුගේ ඇඳුම් අතරේ වූ පැරණි කඩමාලු හා අබලි රෙදි කැබලි ගෙන, ඒවා ළිඳේ සිටි යෙරමියා වෙත ලණුවලින් බැස්සවී ය. 12කූෂීය එබෙද්-මෙලෙක්, යෙරමියාට කතා කොට, “මෙම කඩමාලු හා අබලි රෙදි ඔබේ කිහිලිවලටත්, ලණුවලටත් අතරේ තබා ගන්නැ” යි කීවේ ය. යෙරමියා එසේ කළේ ය. 13එවිට ඔවුහු ලණුවලින් ඔහු ඉහළට ඇද, ළිඳෙන් පිටතට ඔහු ගොඩ ගත්හ. ඉන්පසු යෙරමියා ආරක්ෂක මළුවේ නැවතී සිටියේ ය.
සෙදෙකියාගෙන් ප්‍රශ්න කිරීම
14ඉන්පසු සෙදෙකියා රජු, යෙරමියා දිවැසිවරයා වෙත පණිවුඩ යවා, ස්වාමින්වහන්සේගේ මාලිගයේ තුන් වන දොරටුව වෙත ඔහු ගෙන්වා ගත්තේ ය. රජු යෙරමියා අමතමින්, “මම ඔබෙන් යමක් අසන්නෙමි. මගෙන් කිසිවක් සඟවන්න එපා” යි පැවසී ය.
15එවිට යෙරමියා, සෙදෙකියාට පිළිතුරු දෙමින්, “මම ඔබට උත්තර දුන්නොත් ඔබ මා මරන්නේ නැති ද? ඇරත්, මා ඔබට උපදෙස් දුන්නත් ඔබ මට සවන් දෙන්නේ නැතැ” යි කීවේ ය.
16එහෙත් සෙදෙකියා රජු යෙරමියාට රහසේ දිවුරුම් දෙමින්, “අපට ජීවන හුස්ම දෙන ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, මා ඔබ මරන්නේවත්, ඔබේ ජීවිතය නසන්නට සොයන්නවුන් අතට පාවා දෙන්නේවත් නැතැ” යි කීවේ ය.
17එවිට යෙරමියා, සෙදෙකියා අමතමින්, “ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන්නේ මෙයයි: ‘බබිලෝනි රජුගේ නිලධාරීන්ට ඔබ බාර වුණොත්, ඔබේ ජීවිතය ගැල වේ. මේ පුරවරය ද ගින්නෙන් නො දැවේ. ඔබත්, ඔබේ ගෘහවාසීනුත් තවදුරටත් ජීවත් වනු ඇත. 18එහෙත්, ඔබ බබිලෝනි රජුගේ නිලධාරීන්ට බාර නො වුවහොත්, මෙම පුරවරය කල්දිවරුන්ගේ අත්වලට හසුකර දෙනු ලැබේ. ඔවුන් මෙය ගිනි ලා, දවා දමනු ඇත. ඔවුන්ගේ අත්වලින් ඔබත් නො ගැලවෙනු ඇතැ’ ” යි පැවසී ය.
19සෙදෙකියා රජු යෙරමියා අමතමින්, “කල්දිවරුන් වෙත ගොස් සිටින යුදෙව්වරුන්ට මා බයයි. කල්දිවරුන් විසින් ඔවුන් අතට මා පාවා දිය හැකියි. එවිට ඔවුන් මට නපුරක් කරනු ඇතැ” යි පැවසී ය.
20යෙරමියා පිළිතුරු දෙමින්, “ඔවුන් ඔබ පාවා දෙන්නේ නැත. මා ඔබට කියන දේ කිරීම මගින් ස්වාමින්වහන්සේට කීකරු වන්න. එවිට ඔබට සෙත සැලසී, ඔබගේ ජීවිතය ද ගැල වේ. 21එහෙත් ඔබ බාරවීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, ස්වාමින්වහන්සේ මට පෙන්වා දී ඇත්තේ මෙසේයි: 22ඔන්න, යූදාහි රජුගේ මාලිගයේ රැඳී සිටින කාන්තාවන් සියලු දෙනා බබිලෝනි රජුගේ නිලධාරීන් ඉදිරියට ගෙනෙනු ඇත. එම කාන්තාවන් ඔබ අමතමින්,
“ ‘ඔබගේ විශ්වාසී මිත්‍රයෝ
ඔබ නොමග යවමින්, ඔබෙන් ජය ගන්නෝ ය.
ඔබගේ පාද මඩෙහි එරී ඇත.
ඔබේ මිතුරන් ඔබ තනිකර ගොසිනි’ යි කියනු ඇත.
23“ඔබගේ භාර්යාවන් හා ඔබගේ දරුවන් සැවොම කල්දිවරුන් වෙත පිටතට ගෙනෙනු ලබනු ඇත. ඔවුන් අතින් ඔබ ගැලවෙන්නේ නැත. බබිලෝනි රජු ඔබ අල්ලා ගනු ඇත. මේ පුරවරය ද ගින්නෙන් දවා දමනු ඇතැ” යි පැවසී ය.
24එවිට යෙරමියා ඇමතූ සෙදෙකියා, “මේ සාකච්ඡාව ගැන කිසිවකුටත් දැනගන්නට ඉඩ තියන්න එපා; නැතහොත් ඔබට මරණයයි. 25මා ඔබට කතා කළ වග නිලධාරීන් අසා, ඔබ වෙත පැමිණ, ඔබට අඬගසා, ‘රජ්ජුරුවන්ට ඔබ කීවේ මොනවා ද, රජ්ජුරුවෝ ඔබට කීවේ මොනවා ද යන්න අපට කියන්න. අපෙන් සඟවන්න එපා; නැතහොත් අපි නුඹ මරා දමන්නෙමු’ යි කිවහොත්, 26ඔවුන්ට කතා කොට, ‘යොනාතාන්ගේ ගෙදරදී මා නො නස්නා පිණිස, යළි මා එහි නො යවන ලෙස මම රජ්ජුරුවන්ට කන්නලව් කළෙමි’ යි කිව යුතු යැ” යි කීවේ ය.
27සියලු නිලධාරීහු පැමිණ, යෙරමියාගෙන් ප්‍රශ්න කළහ. ඔවුනට කියන ලෙස රජු ඔහුට අණ කොට තිබූ හැම දෙයක් ම ඔහු ඔවුනට පැවසී ය. ඉන් එහාට ඔවුන් කිසිවක් කීවේ නැත. මන්ද එම සාකච්ඡාව කිසිවකුටත් අසන්නට ලැබුණේ නැත.
28යෙරුසලම අල්ලා ගනු ලැබූ දවස දක්වා යෙරමියා ආරක්ෂක මළුවේ රැඳී සිටියේ ය.
යෙරුසලමේ වැටීම
යෙරුසලම අල්ලා ගනු ලැබුවේ මෙසේ ය:

දැනට තෝරාගෙන ඇත:

යෙරමියා 38: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න