යෙරමියා 35

35
රේකාබ්වරු
1යොෂීයාගේ පුත්, යූදාහි රජු වූ යෙහෝයාකීම්ගේ දවස්හි දී ස්වාමින්වහන්සේ වෙතින් යෙරමියා වෙත පැමිණි වචනයයි මේ: 2“රේකාබීවරුන්ගේ වංශය වෙත ගොස්, ඔවුන්ට කතා කර, ස්වාමින්වහන්සේගේ ගෘහයෙහි කුටියකට ඔවුන් කැඳවාගෙන අවුත්, ඔවුනට බොන්නට මිදි යුෂ පිළිගන්වන්න.”
3එබැවින් මම හබස්සිනියාගේ පුත්, යෙරමියාගේ පුත්, යාසනියා ද ඔහුගේ සහෝදරයින් හා ඔහුගේ පුතුන් සියලු දෙනා ද වන රේකාබීවරුන්ගේ මුළු වංශය වෙත ගියෙමි. 4මම ඔවුන් කැඳවාගෙන, ස්වාමින්වහන්සේගේ ගෘහයට, ඉග්දලියාගේ පුත්, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වූ හානාන්ගේ පුත්‍රයන්ගේ කුටියට ආවෙමි. එය පිහිටියේ නිලධාරීන්ගේ කුටියට යාව, ෂල්ලූම්ගේ පුත් මාසේයා දොරටුපාලයාගේ කුටියට ඉහළිනි. 5ඉන්පසු මම මිදි යුෂ පිරි කෙණ්ඩි ද කෝප්ප ද රේකාබීවරුන් ඉදිරියේ තබා, “මිදි යුෂ බොන්නැ” යි ඔවුන්ට කීවෙමි.
6එහෙත් ඔවුන් පිළිතුරු දෙමින්, “අප මිදි යුෂ බොන්නේ නැත. මන්ද රේකාබ්ගේ පුත්‍ර අපගේ ආදි පියා වූ යෝනාදාබ් අපට අණ කරමින්, ‘ඔබවත්, ඔබේ පුත්‍රයින්වත් සදහට මිදි යුෂ පානය නො කළ යුතු ය. 7නිවෙසක් ගොඩනැගීම ද ඔබ නො කළ යුතු ය. බීජ වැපිරීම නො කළ යුතු ය; මිදි වතු වැවීම හෝ අයිති කර ගැනීම නො කළ යුතු ය. හැම විට කූඩාරම්වල ම වාසය කළ යුතු ය. මෙසේ ඔබ නැවතී සිටින දේශයෙහි ඔබ දිගු කලක් ජීවත් වනු ඇතැ’ යි පවසා ඇත. 8රේකාබ්ගේ පුත්‍ර, අපගේ ආදි පියා වූ යෝනාදාබ් අපට අණ කළ සියලු දේට අපි කීකරු වුණෙමු. අප ද අපගේ භාර්යාවන් ද අපගේ පුතුන් හා දූවරුන් ද යන කිසිවකුත් අපගේ සියලු දවස්හි මිදි යුෂ බීවේ නැත. 9වාසය කිරීමට අප ගෙවල් හදා ගත්තේ නැත. මිදි වතු, කෙත් වතු හෝ බීජ අපට නැත. 10අපි කූඩාරම්වල ම ජීවත් ව, අපේ පියා වූ යෝනාදාබ් අපට අණ කළ දෑට මුළුමනින් ම කීකරු වුණෙමු. 11එහෙත් බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර් මේ දේශය ආක්‍රමණ කළ කල්හි අපි, ‘එමු, කල්දිවර හමුදාවෙන් හා අරාම්වරුන්ගේ හමුදාවෙන් බේරෙන පිණිස අපි යෙරුසලමට යමු’ යි කීවෙමු. මෙසේ අපි යෙරුසලමේ නැවතී සිටින්නෙමු” යි කීහ.
12එවිට ස්වාමින්වහන්සේගේ වචනය යෙරමියා වෙත පැමිණ: 13“ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: යන්න, යූදා ජනයාටත්, යෙරුසලම් වාසීන්ටත් මෙසේ කියන්න: ‘නුඹලා පාඩමක් ඉගෙන ගන්නේ නැති ද? මගේ වචනවලට කීකරු වන්නේ නැද්දැ?’ යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. 14‘රේකාබ්ගේ පුත් යෝනාදාබ් මිදි යුෂ නො බොන ලෙස තම පුතුන්ට කළ නියෝගය, පිළිපදිනු ලැබේ. ඔවුන් අද දවස දක්වාත් මිදි යුෂ බොන්නේ නැත. මන්ද ඔවුහු තම ආදි පියාගේ අණට කීකරු ව සිටිති. එහෙත් නැවත, නැවතත් මම නුඹලාට කතා කළා වුව ද, නුඹලා මට කීකරු වූයේ නැත. 15මම නැවත නැවතත් මගේ සියලු සේවකයින් වන දිවැසිවරුන් නුඹලා වෙත එවීමි. ඔවුහු කතා කොට, “නුඹලා හැම කෙනෙක් ම තම තමාගේ දුෂ්ට මාර්ගවලින් ඉවත හැරී, නුඹලාගේ ක්‍රියා පිළිවෙත් හරිගස්සාගනු. වෙනත් දෙවිවරුනට සේවය කරන පිණිස ඔවුන් පසු පස නො යනු. එවිට, ඔබටත්, ඔබේ පියවරුන්ටත් මා දුන් දේශයෙහි ඔබ ජීවත් වනු ඇතැ” යි පැවසූහ. එහෙත් නුඹලා ඒ ගැන තැකුවේ නැත. මට සවන් දුන්නේ නැත. 16රේකාබ්ගේ පුත් යෝනාදාබ්ගේ පුත්‍රයෝ තම පියා තමන්ට දුන් නියෝගය පිළිපැද්දහ. එහෙත් මේ ජනයා මට කීකරු වූයේ නැත.’
17“එබැවින් සේනාංකවල දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ මෙසේ කියන සේක: ‘මෙන්න! මම යූදා පිටත්, යෙරුසලමේ වෙසෙන හැම කෙනකු පිටත් ඔවුන්ට එරෙහිව මා ප්‍රකාශ කළ හැම විපත්තියක් ම ගෙනෙන්නෙමි. මම ඔවුන්ට කතා කළෙමි. එහෙත් ඔවුන් සවන් දුන්නේ නැත. මම ඔවුන්ට හඬ ගැසුවෙමි. එහෙත් ඔවුන් පිළිතුරු දුන්නේ නැත.’ ”
18එවිට යෙරමියා, රේකාබීවරුන්ගේ පෙළපත අමතමින්, “ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘ඔබේ ආදි පියා වූ යෝනාදාබ්ගේ අණට ඔබ කීකරු වූහ. ඔහුගේ සියලු නියෝග පිළිපදිමින් ඔහු අණ කළ හැම දෙයක් ම කළහ.’ 19එබැවින්, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ‘මා ඉදිරියේ සේවය කරන කෙනකු කිසි කලෙකත් රේකාබ්ගේ පුත් යෝනාදාබ්ට නැති නො වන්නේ යැ’ යි” පැවසී ය.

දැනට තෝරාගෙන ඇත:

යෙරමියා 35: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න